බදු සහන වාසිය අනුව භාණ්ඩ වර්ග 15,000 ක මිල අඩුකරලා


( +++ මහින්ද නිශ්ශංක)

රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 80කට වැඩි ප්‍රමාණයකින් සිදුකර තිබෙන මෙම භාණ්ඩ මිල අඩුකිරීම පිළිබඳව එම සමාගම් සහ ආයතන ලිඛිතව අධිකාරියට දැනුම්දී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුෂ මහතා පැවසීය.

මේ අනුව සියයට 6ත් 8ත් අතර ප්‍රමාණයකින් භාණ්ඩ මිල අඩුකර ඇති බව පවසන ඔහු, මිල අඩුකර තිබෙන භාණ්ඩ වර්ග හා අඩුකළ මිල ගණන් පුවත්පත් දන්වීම් මගින් හා සිල්ලර වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාවට දැනගැනීමට සලස්වන ලෙස ද අදාළ සමාගම් හා ආයතනවලට දැනුම්දී ඇති බව ද කීය.

රජයේ බදු සහනයට අනුව මිල අඩුකර තිබෙන භාණ්ඩ අතර, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ, රස කැවිලි වර්ග, සිසිල් බීම වර්ග, ජෑම්, කෝඩියල්, බිස්කට්, චොකලට්, සබන්, ෆවුඩර්, ෂැම්පු, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය යනාදීය ද වෙතැයි පැවසූ අධ්‍යක්ෂ ජනරාල් ෆවුෂ මහතා, කිරිපිටි හා සිමෙන්ති මිල කලින්ම අඩුකළ බව ද පැවසීය.

ඉකුත් දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩුකිරීම හා සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමේ වාසිය භාණ්ඩ මිල අඩුකිරීම තුළින් ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා අධිකාරියේ විමර්ශන නිලධාරීන් වෙළෙඳපොළ නිරීක්ෂණයක යෙදෙන බව ද ඒ මහතා කීය.