බදු එකතු කරන පද්ධතිය නතරවී කෝටි දාහක් වතුරේ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා  ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නමැති මෘදුකාංග පද්ධතිය ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 1000 ක් වැයකර ඇතත් එය මේ වනවිට අක්‍රිය තත්වයේ පවතින බව  තොරතුරු අනාවරණයවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව)  පවසයි.

මෙම පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පසු කාලීනව    තවත් විශාල මුදලක් වැය කර ඇති   හෙයින් මේ සඳහා  තවදුරටත් මුදල් වැය වැයකිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම වැදගත් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සභාපති කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා පැවසූවේ එම  පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  තමාට නොදෙන බවයි.