බදියුදීන්ගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්


(නිමන්ති රණසිංහ)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සන්තකයේ තබාගෙන සිටි නවීන වර්ගයේ ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් වාට්ටු සෝදිසි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතා එම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් සිට ඇති බවත්, නිලධාරීන් දුටු සැකකරු එම ජංගම දුරකථනය අසල ජනේලයෙන් ඉවතට විසිකර ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන ) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

ඒ අනුව බන්ධනාගාරයක් තුලදී සැකකරුවකු ජංගම දුරකථනයක් භාවිත කිරීමේ වරදට අදාළව බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව බන්ධ විනිශ්ච මණ්ඩලයක් හමුවට මෙම සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඔහු සඳහන් කළේය .

සැකකාර හිටපු අමාත්‍යවරයා ජනේලයෙන් ඉවතට විසි කරන ලද ජංගම දුරකථනය නිලධාරීන් විසින් අහුලාගනු ලැබීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා බුද්ධි අංශ වෙත ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.