පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනයේ අවසන් වාර්තාව කඩිනමින් ඉල්ලයි


පෞද්ගලික  රෝහල් ගාස්තු නියාමනය කිරීමේ අවසන් වාර්තාව කඩිනමින් සකස්කර දෙන්නැයි  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ. 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අවසන් වාර්තාව සකස් කිරීමෙන් පසු එය කඩිනමින් ගැසට් කිරීමට නියමිතය.

 
පෞද්ගලික රෝහල්වල ගාස්තු අය කිරීමේ දී අයකරනු ලබන වැට් අගය ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති අතර ඒ අනුව නියම කරනු ලබන ගාස්තු ඇතුළත් පැකේජයට වෛද්‍යවරුන්ගේ ගාස්තු ද ඇතුළත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස්  ලබා දී  ඇත.


පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පැවැති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දී  අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.


මේ අතර  ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදවද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වි ඇති අතර  මේ වන විට 2016 ට වඩා 2018 වසර තුළ ඩෙංගු රෝගීන්ගේ සියයට 80 ක අඩුවක් දක්නට ලැබෙන බවත් ඩෙංගු මරණ අනුපාතය දශම 1 දක්වා අඩු වී   ඇති බවත් ජාතික ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා  තොරතුරුඅනාවරණය කිරීමෙන් පසු   මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ධූමායන කටයුතු සහ නිවාස පරික්ෂා කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක  කිරීමටද ස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල අංශ දැනුවත් කර තිබේ

.
වතුකරයේ ත්‍රීපෝෂ බෙදාහැරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මගහරවා ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය, කළුතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක වල විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද තීරණය කෙරුණු අතර . ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කාර්යාල වල සහ වතු අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ ත්‍රිපෝෂ බෙදාහැරිමට ද කටයුතු යොදා ඇත.


(36698)