(ඩයනා උදයංගනී)
ගමන් ගන්නා මගීන් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට දින 45ක කාලයක් වෙනුවෙන් ධාවනය කෙරෙන කිලෝමීටරයකට රුපියල් 10 බැගින් දෛනික දීමනාවක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
මීට අමතරව දකුණු පළාත් ප්‍රවාහන අධිකාරිය හැර සෙසු ප්‍රවාහන අධිකාරීවලින් අයකරන ලොග් බලපත්‍ර ගාස්තුව සැප්තැම්බර් මාසය දක්වා අය නොකරන ලෙසත්, දෙසැම්බර් මාසය තෙක් මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අය කරන ලෙසත් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස්රථවල රක්‍ෂණ කාලය මාස තුනක් දක්වා දීර්ඝ කරන ලෙසත්, ණය පහසුකම් ලබාගැනීමේදී අඩු පොලී පහසුකම් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
පොදු ප්‍රවාහන සේවා ආදිය ඔස්සේ කොවිඞ් දෙවැනි රැල්ලක් මතුවිය හැකි බවටත්, පාසල් සිසුන් හැකිතරම් පෞද්ගලික වාහනවල ගමන් කළ යුතු බවටත් සෞඛ්‍ය අංශ කර ඇති ප්‍රකාශ හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන් අඩු වී ඇති බව කී විජේරත්න මහතා ඒ හේතුවෙන් බස්රථවලට දිනකට ඉතිරිවන්නේ රුපියල් 1000ත් 1500ත් අතර මුදලක් බවත් එයින්ද රුපියල් 1000ක පිරිවැයක් ටයර වෙනුවෙන් වැය වන බවත් කීවේය.
ඉන්ධන සහනාධාරයක් ලබාදීම ද ප්‍රායෝගිකව සිදුකිරීම අපහසු බැවින් දෛනික දීමනාවක් හෝ ලබාදෙන්නැයි ඉල්ලා තම සංගමය ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබෙන බව ද ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

