පෞද්ගලික බස් ධාවනය අඩකින් පහළ බසී


(විනීතා එම් ගමගේ)

සාමාන්‍යයෙන් ධාවනය වන පෞද්ගලික බස්රථ ප්‍රමාණයෙන් අද  ධාවනය වූයේ  50% ආසන්න ප්‍රමාණයක් පමණකැයි සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
 
සාමාන්‍ය දිනයක දී බස්රථ 17000 ක් පමණ රටපුරා ධාවනය කරන බවත් අද ධාවනය වූයේ බස් රථ 8000 කට මදක් වැඩියෙන් බවත් විජේරත්න මහතා කීය.
 
බස්රථ ධාවනය කිරීමේ දී පවතින ගැටළු විසඳන මෙන් කළ ඉල්ලීමට රජයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොමැති බැවින් අද  (20) සිට සාමාන්‍යයෙන් ධාවනය වන බස්රථ ප්‍රමාණයෙන් 50% පමණක් ධාවනය කිරීමට බස්රථ හිමියන් තීරණය කොට තිබිණි.

එසේ බස්රථ අඩුවෙන් ධාවනය කළත් මගීන් ගමන් කිරීම ඉතාමත්ම අඩුවී තිබු බව දිවයිනේ සෑම පළාතකින්ම පාහේ වාර්තා වූයේ යැයි කී ඔහු පාසල් ආරම්භ කරන තුරු මෙසේ අඩු බස්රථ ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද පැවැසීය.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ පවතින තත්ත්වය යටතේ යම් ප්‍රදේශයක බස්රථ ධාවනය වන ප්‍රමාණය අඩුවන්නේ නම් මගී ජනතාවට රස්තියාදු වන්නට නොදී ධාවනය සඳහා බස්රථ යොදවන මෙන් සියලු කලාපීයය කළමණාකරුවන්ට දැනුම් දුන් බවය. 

පවතින කොවිඞ් වසංගත තත්ත්වය ගැන ද සළකා බලා මගී ජනතාවට තෙරපීමකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසනක ලෙසත් සේවක අඩුපාඩුවක් වේ නම් නිවාඩු අවලංගු කරන ලෙසත් ඔවුන්ට දැනුම් දුන් බවත් සභාපතිවරයා කීය.