පෝරකයට නියමවී සිටින ‘සර්පයා’ හිරේ ඉඳන් මුහුණු පොතෙන් රට පුරා කතා කරලා


(මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ)

ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයකුගේ මුහුණුපොත (Face Book) යාවත්කාලීන වන්නේ කෙසේද? ඒ කොහි සිටද? යන්න පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රහස් පොලිසියට පෙරේදා (29) නියෝග කළාය. 

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ ත්‍රිපුද්ගල ඝාතනයකට මරණ දඬුවම නියමවී දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නමැත්තාගේ මුහුණු පොත පසුගිය 27 වැනිදා දක්වා යාවත්කාලීන කර ඇති බවට නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගනිමිනි.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම දැනුම්දීම කළේ 1999 සැප්තැම්බර් මස 03 වැනිදා රත්නපුරේදී පළාත් සභා මන්ත්‍රී රන්ජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා ඝාතනයකොට ඔවුන්ගේ මෝටර් රථය  ගිනිතබා විනාශ කළ බවට හසිත සමන්ත මුහන්දිරම් නමැත්තා ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව පෙරේදා (29) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීය. 

නියෝජ්‍ය පොලිසිටර් ජනරාල් දීලීප පීරිස් මහතා අධිකරණය අමතමින් හසිත සමන්ත මුහන්දිරම් නමැති විත්තිකරු 2015 වසරේදී ත්‍රිත්ව ඝාතනයකට වරදකරුවී රත්නපුර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම  කෙරුණු බවත්  ඔහු මෙසේ මුහුණ පොත භාවිත කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටියදී බවත් පැවසීය.

 විත්තිකරු සිය මුහුණු පොත ඔස්සේ වරින් වර සංවාද පවත්වාගෙන ගොස් ඇති බවත් විවිධ තරාතිරම්වල පුද්ගලයන් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත් දිලීප පීරිස් මහතා කීය. මෙසේ ප්‍රතිචාර දැක්වූවන් අතර නීතිඥවරියන් කීපදෙනකු ද සිටින බවකී. නියෝජ්‍ය පොලිසිටර් ජනරාල්වරයා එම නිතිඥවරියන් පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකරන බව ද කීය. මරණ දඬුවම නියමවී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින සිරකරුවකු මෙසේ මුහුණුපොත ගිණුමක් පවත්වාගෙන යන්නේ කෙසේ දැයි පරීක්‍ෂා කර බලන ලෙස ඔහු විනිසුරුවරියගෙන් ඉල්ලා සිටියේය.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය මරණ දඬුවම් නියමවී බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවකුගේ මුහුණු පොත ගිණුම මෙසේ යාවත්කාලීන කෙරෙන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ලබන 17 වැනිදා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.