පෝට් සිටි ඉදිකිරිම් අත්හිටුවන්න’යි ගොනු කළ පෙත්සම කල්යයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ  (පෝට් සිටි) ඉදිකිරීම් කටයුතු අත්හිටුවන සහ අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම පිළිබඳ තීන්දුව ප‍්‍රකාශය පත් කිරීමට ලබන ජනවාරි 17 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) තීන්දු  කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවිණි.

එහිදී විනිසුරු මඬුල්ල සඳහන් කරනු ලැබුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව මෙදින ප්‍රකාශයට පත් කරන බවයි. ඒඅනුව පෙත්සම් මෙදිනට කල් තැබිණි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ නීතිපතිවරයා නම්කරනු ලැබ සිටිති.

කොළඹ ගාලූමුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් පෙන්වා දේ.

එබැවින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කර ඇති නීතිවිරෝධී සියලූ ගිවිසුම් අහෝසි කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් ඉල්ලා සිටිති.

පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.