පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි


(ඩයනා උදයංගනී)

මත්ද්‍රව්‍ය නැති කිරීමට නම් පොලීසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා නැවැත්විය යුතු යැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයගෙන් විවිධ දෑ ලබාගන්නා බවත්, වැරදි ආකාරයෙන් ලබාගන්නා දේ නිසා තමන්ට නැතත් දරුවන්ට හෝ අවැඩක් විය හැකි බැවින් එලෙස නොකරන්නැයි තමන් ඔවුන්ට දැනුම් දෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවති දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය අමතමිනි.

ගෙවුණු මාස 8 ක කාලයේදී තමන් සියලු පොලිස් නිළධාරීන්ට පැවති උසස්වීම්, දීමනා ඇතුළු ගැටලු විසඳූ බවද ටිරාන් අලස් මහතා පැවසීය.

ඇතැම් නිලධාරීන් පරීක්ෂා කිරීම්වලට (සබිචැජඑසදබ)  ගොස් සාද පවත්වන බවත්, එයින් පරීක්ෂාකිරීම් සහ සාද යන දෙකම නිසි ලෙස නොවන බවත් කී ඇමතිවරයා එවැනි දෑ නොකළ යුතු බව ද කීවේය.

පොලීසිය සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබෙන බවත්, “වැඩිම හොරු ඉන්නෙ පොලිසියේ, පගා ගහන්නේ පොලිසිය” යනුවෙන් ජනතාවගෙන් එල්ල වන චෝදනා නැතිකරගත යුත්තේ පොලීසියම බවත් ඇමතිවරයා කීවේය.