පොලිස්පතිත් කොමිසමත් ව්‍යවස්ථා සභාව හමුවට


(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

ලබන සතියේ පැවැත්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කැඳවීමට එම සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය මුල්කරගෙන දෙපාර්ශ්වය මෙසේ ව්‍යවස්ථා සභාවට කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කතානායකවරයා තීරණය කර ඇතැයි කතානායක මාධ්‍ය අංශය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසම දුන් ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා පොලිස්පතිවරයා විසින් කොමිසමට ලබා දිය යුතු වාර්තා නිසි කලට බාර නොදීම නිසා මේ වනවිට පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර විවාදාත්මක තත්ත්වයක් මතුවී ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්. මනතුංග මහතා පැවසුවේ පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පාලනය කොමිසම යටතේ පැවැතිය ද පොලිස්පතිවරයා කොමිසමේ පාලනයෙන් නිදහස් බවය.

පොලිස්පතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් එය සිදුවිය යුත්තේ ව්‍යවස්ථා සභාව හරහා   ජනාධිපතිවරයා විසින් යැයි කී මනතුංග මහතා කොමිසම උත්සාහ ගන්නේ හැකි සෑම විටම පොලිස්පතිවරයා සමඟ මිත්‍රශීලී ලෙස ප්‍රශ්න විසඳාගැනීමට යැයි ද සඳහන් කළේය.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ උසස්වීම් ලබාදෙන ලෙස පොලිස් කොමිසම නිර්දේශ කළ ද එය ක්‍රියාත්මක නොකිරීම, කොමිසමෙන් අනුමත කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු පටිපාටිය ක්‍රියාත්මක නොකිරීම, පොලිසියේ පහළ නිලධාරීන් 100කට ආසන්න පිරිසකගේ උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම ආදී පොලිස් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතු විය.

යුද සමයේ ආබාධිත වූ පොලිස් සාමාජිකයන්ගේ උසස්වීම් ක්‍රියාත්මක කරන ලෙස කොමිසම දැනුම් දී ඇතත් මේ වන තෙක් එය ද ක්‍රියාත්මක කර නැතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට කොමිසමෙන් ලබා දුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට අදාළ පොලිස් පණිවුඩය මෙතෙක් නිකුත් කර නැතැයි ද නාරම්මල පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙසට කොමිසම දුන් නියෝග ද පොලිස් සංඛ්‍යාලේඛන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස දුන් නිර්දේශයද මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් පැවසේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆර්ඩි ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව ලැබී ඇතැයි කියන පැමිණිලි විභාග නොකිරීම සම්බන්ධයෙන් ද ගැටලු මතුවී ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව අලුතින් ස්ථාපිත කැරුණු අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පරිදි ජනාධිපතිවරයා විසින් එම කොමිෂන් සභාව සාමාජිකයෝ හත් දෙනෙක් පත් කරනු ලැබූහ.

නීතිඥ පී.එච්. මනතුංග මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම්.ඩී.
සමන් දිසානායක මහතා එහි ලේකම්වරයා ලෙස කටයුතු කරයි. මහාචාර්ය එස්.ටී. හෙට්ටිගේ, සාවිත්‍රි ඩී විජේසේකර, බී.ඒ. ජෙයනාදන්, වයි.එල්.එම්. ස්වයිහිර්, තිලක් කොල්ලුරේ සහ ෆ්‍රෑන්ක් ද සිල්වා යන මහත්ම මහත්මීහු පොලිස් කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.