පොලිස් කාන්තාවන්ට ලිංගික බලපෑම් කළ ඕඅයීසීට වැඩ වරදින ලකුණු


තරිඳු ජයවර්ධන
 
කාන්තා පොලිස් නිලධාරිනියන්ට ලිංගික බලපෑම් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරයකුට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් විනය පියවර ගැනීමට නියමිත බව එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

 
මෙම ලිංගික බලපෑම් ඉවසා ගත නොහැකිව කාන්තා පොලිස් නිලධාරිනියක් කිහිප දෙනකු වෙනත් පොලිස් ස්ථානවලට ස්ථාන මාරු ලබා පිටව ගොස් ඇති බවවත්, ලිංගික බලපෑම්  සම්බන්ධයෙන්  කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කර ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
 
කාන්තා අපයෝජනයක් සම්බන්ධ පැමිණිල්ලකට අදාළ සිදුවීමක් තමා විමර්ශනය කළ බව ද, ඒ සම්බන්ධයෙන් විමසීමට ස්ථානාධිපතිවරයා තමාට නිල කාමරයට කැඳවූ බව ද, එකේ කැඳවීමෙන් පසු ‘මම මේක කියෙව්වේ. මාර ආතල් නේද?‘ යනුවෙන් විමසූ බව ද එම උප පොලිස් පරීක්ෂිකාව කළ පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ඉන් පසු දිගින් දිගටම ලිංගික බලපෑම් කළ නිසා ඇය ඉහළට පැමිණිලි කර තිබේ.
 
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයකින් පසු චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ඇති බව ද, එය ඔහුට ලබා දීමට නියමිත බව ද පොලිස් කොමිෂන් සභාව කියයි.
 
මේ අනුව එම පොලිස් ස්ථානාධිපතිවරයාට නුදුරේදීම ස්ථාන මාරුවක් ලබා දීමට නියමිත බවත් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.