පොඩි මිනිහාගේ දුක විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට තේරෙන්නේ නැහැ


(සුජිත් හේවාජුලිගේ)

ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ අමාරුකම මාසේ පඩිය ගන්නා විපක්ෂයේ නායකයන්ට මෙන්ම ආර්ථික ඔස්තාර්ලා යැයි කියාගන්නා විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන්ට තේරෙන්නේ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

ජීවිතය වගේම ජීවනෝපායද වැදගත් වන හෙයින් රට ඉක්මනින්ම විවෘත කරගත යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේ‍ය.

ශ්‍රි ලංකා මහ බැංකුව අවශ්‍ය තරම් ඩොලර් නිකුත් කර ඇති හෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවීමට කිසිම ඉඩකඩක් නැති බව පැවසූ කබ්රාල් මහතා රජය ඩොලර් හිඟයක් ඇති නොවීමට කටයුතු කර ඇතැයිද ප්‍රකාශ කළේය.

විපක්ෂය අද වෑයම් කරන්නේ රට වස්සවා ගෙන එමගින් ජනතාවට ඇතිවන පීඩනය හරහා බලය ගැනීමට බවත් ජනතාව කාටත් වඩා හොඳින් විපක්ෂයේ මෙම පහත් අරමුණ තේරුම් ගෙන සිටින බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

දැඩි ආර්ථික අර්බුදයක් තියෙද්දි පවා රජයේ කොරෝනා මර්දන එන්නත් ගැන්වීමට ඩොලර් මිලියන එකසිය විස්සකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එන්නත් ගෙන්වීමට තවදුරටත් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

රුපියල අවප්‍රමාණය වීම ගැන නොසිතා ඩොලර් රටට ගෙන්වා ගෙන ඒවා රුපියල් බවට පත්කරන්නැයි අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ යැයි සිතා ආනයනකරුවන් වේගයෙන් භාණ්ඩ ආනයනය කිරීමද නතර කළ යුතු බවත් ඔහු කීවේය.