පුහුණුකරු ළග නොසිටීමෙන් මා අසරණ වුණා


ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පුහුණුකරුවකු නොමැතිවීම තමන්ට පාඩුවක් වු බවත්, එවැනි අඩුපාඩුකම් ඇති නොවන්නට බලධාරීන් ඉදිරියේදීවත් වග බලාගත යුතු බවත් ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් නුවර සිට ‘ලංකාදීපයට’ අද (6) පැවසීය. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේදී නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටාගෝ පරදවා විශිෂ්ට ජයක් ලැබීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් දැක් වු ඉහළම දස්කම ලෙස ද එය වාර්තාවේ. අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියත් නිලූක එහිදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප් පරුපල්ලි අතර පැවැති පෙර අර්ධ අවසන් පුර්ව තරගයෙන් පරාජය ලැබුවේ තරග වට 2/1 තියුණු තරගයකින් පසුවය. ඉන්දිය ක‍්‍රීඩකයා තරගය අතරතුර පුහුණුකරුගෙන් උපදෙස් ලබද්දී නිලූක, පුහුණුකරුවකු නොමැතිව තනිව සටනක් ලබාදුන් ආකාරය ලන්ඩන් ඔලිම්පික් උළෙල පැවැත්වෙන මේ දිනවල මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ වැඩි දෙනකුගේ කතා බහට ලක්ව තිබේ. පුහුණුකරුවකුගේ සහයෝගය තිබුණේ නම් තරගය ජය ගැනීමට නිලූකට වැඩි අවස්ථාවක් උදාවී තිබු බව බොහෝ දෙනාගේ අදහසයි. ‘‘ඔලිම්පික් තරගවල මගේ ප‍්‍රතිඵල අතීතයට ගොස් අවසානයි. මේ සියලූදේ වලින් ඉදිරියේදීවත් අවශ්‍ය පහසුකම් මට ලැබෙයි කියලා හිතනවා. ශ‍්‍රී ලංකාවේදී මට තරගයක් දීමට හැකි ක‍්‍රීඩකයන් නොමැති නිසා මම විදෙස් තරග සඳහා තනිවම සහභාගිවුණා. ඒ තුළින් ලබාගත් ජයග‍්‍රහණ ඔස්සේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව මා ලබා ගත්තා යැයිද’’ නිලූක පැවසීය. එහිදී මැක්ලරන්ස් සමාගම හැකි අන්දමින් අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත් වු බවද ඔහු වැඩි දුරටත් පැවසීය. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සිය පියා (ලූවී කරුණාරත්න මහතා) පුහුණුකරු ලෙස තමන්ට ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලූ නමුත් ඒ අවස්ථාව අහිමි වු බවද ඔහු පවසයි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට පෙර තමන් ක‍්‍රීඩා අමාත්‍යංශයේද සහයෝගයෙන් පෝලන්තයේදී නේවාසිකව පුහුණුව ලැබු බවත්, පෝලන්ත ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ උපදෙස් ක‍්‍රීඩා උළෙලේදී තමන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණු බවත්, නිලූක පවසයි.