පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යයට කරන බලපෑම විපක්ෂනායක හෙළාදකියි


(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නොමැති බවත් එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ සලකන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

"මාධ්‍ය නිදහසට බරපතළ තර්ජනයක් එල්ල කරමින් ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග නිකුත්කොට ඇති බව වාර්තා වේ.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති නිදහස සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14(1)වගන්තියේ පැහැදිලිව දක්වා ඇති අතර එවැනි රටක මාධ්‍ය භූමිකාවට මෙවන් තර්ජන එල්ල කිරීමට කිසිවකුට හැකියාවක් නැත.

අදහස් දැරීමේ හා පළ කිරීමේ නිදහස පිළිබඳ අයිතිය හැමදෙනාම සතු අයිතියක් බව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින්ද, සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින්ද, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය මගින් ද, ඉතා පැහැදිලිව පිළිගෙන තිබේ.

රටේ පවතින දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කිරීම මාධ්‍ය සතු වගකීමක් වන අතර ,ඒ වගකීම ඉටු කරන මාධ්‍යවේදීන්ව රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමට හෝ ,ඔවුන් ඉලක්ක කරගෙන  තර්ජන එල්ල කිරීමට හෝ , ඔවුනට බලපෑම කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව  අවධාරණය කළ යුතුය.

තොරතුරු දැනගැනීමේ පනත සක්‍රීයව පවතින අවස්ථාවක්ව තිබියදී කිසිසේත්ම  මේ ආකාරයේ කැඳවීම් කිරීම කළ නොහැකි අතර, එවැනි ආවරණයක් නොතිබියදී වුවත් මාධ්‍යවේදීන්ට මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නැත.

එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් වන අතර ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ ද අපි සලකමු.