(අංජුල මහික වීරරත්න , අතුල බණ්ඩාර සහ රෝහණ චන්ද්‍රදාස)
අතීත බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කර ශ්‍රී විභූතිය ගැන ලෝකයට නොකියා සිංහල බෞද්ධ යැයි කියමින් දේශපාලනයේ ඡන්ද ගැනීමට කෑ ගැසීමෙන් ඵලක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (14) පැවැසීය.
වත්මන් රජය බෞද්ධ සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය සඳහා 2015 වසරේ සිට වසර තුනක් රුපියල් මිලියන 2500ක් වියදම් කර ඇතැයි කී අග්‍රාමාත්‍යවරයා පසුගිය රජය 2012 වසරේ සිට 2014 දක්වා ඒ වෙනුවෙන් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 1100ක් පමණක් බවද කීය.
මේ අනුව ශ්‍රී ලාංකික උරුමය ගැන සැබෑ කැක්කුමක් ඇත්තේ කාටදැයි හොඳින්ම තේරුම් ගත හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ අනුරාධපුර මහා විහාර ප්‍රජා භූමිය සංරක්ෂණය සහ සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
අනුරාධපුරට පැමිණි අග්‍රාමාත්‍යවරයා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස නාහිමියන් බැහැදැක ශ්‍රී මහා බෝධියද වැද පුදා ගත්තේය.මහා විහාර ව්‍යාපෘතියේ අංක 17 පොකුණ සංරක්ෂණයෙන් පසු විවෘත කිරීමටත් ශ්‍රී මහා බෝධියේ ශෛලමය ප්‍රාකාරය විවෘත කිරීමටත් අනතුරුව ලෝවාමහා ප්‍රාසාදයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමටත් අග්‍රාමාත්‍යවරයා සහභාගි විය.
ඡායාරූප - ශාන්ත රත්නායක