පුරා විද්‍යා දෙපාර්තමේන්තුවත් දැන් පුරා විද්‍යාවට ගිහින්


(විනීතා එම්. ගමගේ)

ආරක්ෂාව දිය යුතු පුරාවිද්‍යා ස්ථානවල ලැයිස්තුවක් දෙන්නැයි තමන් පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා වසරක් ගත වනතුරුත් එම ලැයිස්තුව දෙන්නට ඔහු සමත්වූයේ නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් දැන් පුරාවිද්‍යාවට ගිහින් ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහි තනතුරු වෙනුවෙන් නිලධාරින් පිරිසක් අවුරුදු 10ක් තිස්සේ නඩු කියා ගන්නා බව කී සිරිසේන මහතා පවතින තත්ත්වය යටතේ පුරාවස්තු රැකගැනීමත් යුද්ධයක් යැයි ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා එසේ පැවසුවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ ඊයේ (27) පැවැති උත්සව සභාවක් අමතමිනි.

ගංගා රාජිනි දිසානායක මහත්මිය කළ  පර්යේෂණයක් ඇසුරින් කළ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර ග‍්‍රන්ථය දොරට වැඩුම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

එහි දී ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ ද කීය.

  ‘‘පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රැක බලා ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි. මම පුරාවිද්‍යා කොමසාරිස්තුමාට දුරකථනයෙන් කතා කරල ඇහුවා දෙපාර්තමේන්තුවේ ඇති ප‍්‍රශ්න ගැටලූ විසඳිලා ද කියලා.

ඒ දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යාවට ගිහින් තියෙන්නේ. ඒ අයත් නඩු කියනවා. ඒකෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරින් 18 දෙනෙක් අඩුයි.

පුරවන්න බැරි, පිටින් සුදුසු අය ගන්න දෙන්නෙත් නැහැ. ඇතුළෙ ඉන්න අයට සුදුසුකම් නැහැ කියල ඇතුළෙන්ම කියනවා. 2007 ඉඳලම නඩු කියනවා.

එච්. සී. පි. බෙල්, මහාචාර්ය පරණවිතාන, ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වගේ විද්වතුන් එදා මේ දෙපාර්තමේන්තුව හසුරවපු ආකාරය අපි අහල දැකල තියෙනවා.

මම ගිය අවුරුද්දේ පුරාවිද්‍යා කොමසාරිස්වරයාට කිව්වා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ආරක්ෂාව දිය යුතු වෙහෙර විහාරවල ලැයිස්තුවක් දෙන්න කියලා. ඊයේ කථා කළ වෙලාවේ මේ ගැන ඇහුවම මොන මොන ස්ථානවලට දෙනවද කියල හදාගන්න බැරිලූ. පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමත් යුද්ධයක්.

මම විශේෂ සාකච්ඡාවක් කැඳවලා මේ පිළිඳව අවශ්‍ය පියවර ගන්නට කටයුතු කරනවා යැයි ද ජනාධිපතිවරයා පැවැසීය.’’