පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගත යුතුයි


(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලාංකීය  ජාතික ඉතිහාසය සහ පදනම විනාශ  කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක වන බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර  ජාතිය සතු අගනා වස්තූන් ආරක්ෂා කරන ලෙසට රජයෙන්  ඉල්ලා සිටින  බව ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ  අද (19) කොළඹදී පැවසූහ.

 
කුරුණෑගල නගරයේ පිහිටි  තුන්වැනි  බුවනෙකබාහු රාජසභා  මණ්ඩපය  විනාශ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු පත්කිරීම අනවශ්‍ය ක්‍රියාවක් බවත්  වහාම ක්‍රියාත්මක  වී  වරදකරුවන්ට  දඩුවම් දීම ආණ්ඩුවේ වගකිම විය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
 
ජනාධිපතිතුමන්, අගමැතිතුමන්  මේ සම්බන්ධයෙන්  සෘජු ලෙසම මැදිහත් වී පුරාවිද්‍යා පනතේ බලතල අනුව වැරදිකරුවන්  අත්අඩංගුවට ගෙන වහාම නීත්‍යනුකූල  පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ  මෙසේද පැවසූහ.
 
    “ශ්‍රී ලාංකීය  ජාතික ඉතිහාසය සහ පදනම විනාශ  කරන සංවිධානාත්මක වැඩපිලිවලක් ක්‍රියාත්මක වන බව අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. කුරුණෑගල නගරයේ පිහිටි තුන්වන බුවනෙකබාහු රාජසභා මන්ඩපය විනාශ කිරීමට  දැන් උත්සාහයක්  ගෙන තිබෙනවා.
 
මෙම ස්මාරකය  13 වන සියවසේ ඉදිකර තිබෙන වටිනා වාස්තු විද්‍යාත්මක නිර්මාණයක්. මේ ස්ථානය පැහැදිලිවම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  සංරක්ෂණ ස්ථානයක් වනවා.
 
15 වනදා රාත්‍රියේ මේ වටිනා ස්ථානය විනාශ කර දමා තිබෙනවා. අපේ වාසනාවකට අතරමැදදි ඒ යන්ත්‍රිය ක්‍රියාවිරහිතවිම නිසා මේ කාර්යාංශය  නැවතිලා තියෙනවා. දැන් මේ පිළිබඳ  පොලිසිය ඇතුලු අදාල අංශ දැනුවත්  කර තිබුණත්  ඒ අපරාධකරුවන් සම්බන්ධයෙන් මේ දක්වාම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින්  මහාමාර්ගය පුළුල් කිරිමේ අවශ්‍යතාවය මුවාවෙන් මේ කාර්යය සිදුකරලා තියෙන්නේ  කුරුණෑගල නගරාධිපතිවරයාගේ අවශ්‍යතාවය මතයි. මේ පිළිබඳ  පොලීසියට කරනු ලැබූ පැමිණිලි ගැන  පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.
 
මෙවැනි ඓතිහාසික ස්ථානයක් කඩා බිදදැමීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදක්වනවා. පරුවස්තූන් ආරක්ෂා කිරිමේ  අවශ්‍යතාවය තහවුරු වෙමින්  පවතින නිතියක් රටේ ක්‍රියාත්මක වනවනම්  මේ වගේ විපත්තියක් රටේ  සිදුවන්නේ නැහැ.
 
2016 වසරේදි සීගිරියේ  කැටපත් පවුර කොණ්ඩ කටුවකින් සූරපු දැරියකට පුරාවිද්‍යා  පනත යටතේ  වසර දෙකක සිරදඩුවමක් නියම කළා. මේක තමයි පුරාවිද්‍යා නීතිය.  
 
මෙවන් තත්තවයක් යටතේත් පොලීසිය  ක්‍රියාත්මක නොවි ඉන්නවනම්  එතන තියෙන්නේ  පොලීසිය ඉක්මවා යන පෞද්ගලික බලපෑමක්ද කියන ප්‍රශ්නය අද රට හමුවේ තිබෙනවා.
 
පුරාවිදයා අයිති සංස්කෘතික අමාත්‍යාංශයත් බුද්ධශාසන අමාත්‍යාංශයත් බාරව සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.  මේ අමාත්‍යාංශය බාරව සිටින  අගමැතිතුමන් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටු පත්කිරීමට  කිසිම අවශයතාවයක් නැහැ.

මෙතන වරදක් සිදුවෙලාද, මොන තත්වයේ වැරුද්දක්ද ආදී  වශයෙන් තොරතුරු සෙවිමට තමයි කමිටු පත්කිරිමෙන්  බලාපොරොත්තුවෙන්නේ.  මෙතන එබදු තොරතුරු සෙවිමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඉතාම  පැහැදිලිවම නීතිවිරෝධී ආකාරයෙන්  රාත්‍රි කාලයේදි මේ වටිනා පුරාවස්තුව විනාශ කරලා තිබෙනවා.  මේ කාර්ය කාගෙත් ඇස් පනාපිට පෙනෙන්න  තියෙන වරදක් බැවින් වහාම ක්‍රියාත්මක  වී ඒ වරද කරපු අයට දඩුවම් දීම තමයි  ආන්ඩුවේ වගකිම විය යුත්තේ. ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන්  සෘජු ලෙසම ක්‍රියාත්මක විය යුතුයි.
 
පුරාවස්තු විනාශ කිරිමේ මහා පරිමාණ  සංවිදානාත්මක වැඩපිළිවෙළ  එරෙහිව අපි  නිරන්තරයෙන්ම කරුනු ඉදිරිපත් කළා.  සංවිධානාත්මක අන්තවාදී කල්ලි තමය් මේවායේ පසුපස ක්‍රියාත්මක වෙන්නේ. වහාම  ක්‍රියාත්මක වන පරිදි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරලා මේ ජාතිය සතු අගනා වස්තූන් ආරක්ෂා කරන්න කියලා අපි රජයට යෝජනා කළා.
 
කමිටු පත්කිරීම කියන්නේ  අදාල කාර්යයේ වේගය බාලකිරිමක් කියලා අපි වත්මන් රජයේ බලධාරින්ට කියනවා. කල වරද පේන්න තියෙනවා. පුරාවිද්‍යා පනතේ බලතල අනුව ක්‍රියාත්මක වී  මේ වැරදිකරුවන්  වහාම අත්අඩංගුවට ගෙන නීත්‍යනුකූල කරන්න.  එසේ නොවුනහොත් මේ කාර්ය  තවදුරටත් පූර්වාදර්හයක් බවට පත්වී  එය ජාතියේ විනාශයේ ආරම්භය වනු ඇති බවට  අපි රජයට අවධාරණය කරනවා”යයිද උන්වහන්සේ එහිදී පැවසූහ.