
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම යල කන්නයේ ලුණු අස්වැන්න ඇඳ හැලුනු අධික වර්ෂාවට සේදි ගිය බව පුත්තලම පෞද්ගලික ලුණු නිෂ්පාදකයෝ පවසති.
මේ හේතුවෙන් වෙළඳ පොළට පැමිණීමට තිබූ ලුණු ටොන් 7500 කට ආසන්න ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් මෙසේ සේදී ගොස් ඇති බවද ඔවුහු කියති.
වර්ෂාවට පෙර හා මේ වන විට නිෂ්පාදකයෝ යෙදූ විවිධ උපක්‍රම නිසා ටොන් 1000 ක් පමණ ආරක්ෂා කර ගැනීමට හැකිව ඇති බව වගාකරුවෝ පවසති.
ඒසේම පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ ලුණු නිෂ්පාදකයෝ 5000 කට ආසන්න ප්‍රමාණයක් ලුණු කර්මාන්තයේ නිරත වී සිටිති.
මෙම ලුණු කර්මාන්තයේ නිරත බහුතරයක් පුත්තලම කලපුව ආශ්‍රීතව ධිවර රැකියාවේ නිරත වන පිරිස් වන අතර මාස හයක වාරකන් කාලය ඇරඹීමත් සමඟ වසරේ මාර්තු සිට ලුණු නිෂ්පාදනයට එක්වන බව ලුණු නිෂ්පාදකයෝ පවසති.
ධීවරයින්ට අමතරව ලුණු වගාවල තවත් පිරිසක් නිරත වන බව ඔවුහු පවසති.
කෙසේ නමුත් කොරෝනා වසංගතයත් සමඟ පසුගිය මහ කන්නයේ ලුණු අස්වැන්නද නිසි කාලයට ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් යල කන්නයේ ලුණු නිෂ්පාදනය ප්‍රමාද වී ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.
කෙසේ වෙතත් ඊයේ (20) දහවල් පැය දෙකකට ආසන්න කාලයක් හදිසියේ ඇඳ හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ලුණු අස්වැන්න සම්පුර්ණයෙන් ජලයට නැවතත් මුසු වීමෙන් අස්වැන්න අහිමි වී ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.
මේ පිළිබදව අදහස් දැක්වූ පුත්තලම පෞද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ උප සභාපති අලි සීමැස් මහතා මෙසේ පැවසීය.
“කිසිම මොහොතක නොසිතපු වැස්සක් තමා මේ ආවේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිම ලෙසකින් මෙවැනි කාලගුණිත තත්වයක් තිබෙන බව දන්වා නැහැ.වැස්ස නිසා අපි අන්ත අසරණ වුණා.අපි වෙන රස්සා කරන්නේ නැහැ. ජිවත් වෙන්න කරන එකම දෙය ලුණු වගාව.එහෙම තිබෙද්දී ගොඩ ගන්න විතරක් තිබුණ මේ අස්වැන්න සම්පුර්ණයෙන් අහිමිවුණා.
මේ නිසා නිෂ්පාදකයන්ට කරකියා ගන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයා ලුණු ආනයනය සම්පුර්ණයෙන් නවතා දැමීම ගැන ස්තුති කරනවා.නමුත් අපි මේ සියල්ල හමුවේ ලුණු කිලෝවක් නිෂ්පාදනයට රුපියල් පහක් වැය කරද්දී ඒ සඳහා ලැබෙන්නේ කිලෝවකට රුපියල් 5 ත් 6 ත් අතර ගාණක් මෙය බරපතල තත්වයක්‘‘. යැයි ඔහු පැවසීය.
ඒ සමඟම මෙම ලුණු නිෂ්පාදනයේ නිරත ඒ.එම්.දේවසිරි මහතා මෙසේ පැවසීය.
“අපි බදු ක්‍රමයට ලුණු ඉඩම් අරගෙන වගාවේ නිරත වෙන්නේ.එහිදී මේ හිමිකරුවන්ට බදු ලබා දෙන්නත් ඕනා. අපිත් ජීවත් වෙන්න ඕනා.නමුත් කාලගුණික තත්වයන් හමුවේ අපි අන්ත අසරණ කරලා.වෙනදා මේ ලුණු මඩු පුරෝලා ඉතිරි ලුණු එලියේ ගොඩ ගහනවා.නමුත් දැන් වසර කිපයක ඉදලා අපිට නිසි අස්වැන්නක් ගන්න බැ.ඒ නිසා ලුණු නිෂ්පාදකයෝ අන්ත අසරණ වෙලා‘‘ යැයි ඔහු පැවසීය.






