පුත්තලමේ පොලිසිය අපේක්ෂකයන්ට බයයි


(විනීතා එම් ගමගේ)

පුත්තලම දිස්ත්‍රික්කයේ රාජකාරියේ යෙදෙන පොලිසිය අපේක්ෂකයන්ට බියේ කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා අද (29) පැවසීය.

දිස්ත්‍රික්ක 23 ක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්ම නීතිගරුක අන්දමින් රාජකාරි කරන බවත් ඔවුන්ට ප්‍රණාමය පුදකරන අතරම පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරිවරයා අපේකෂකයින් නීති විරෝධී කටයුතු කරද්දී බියේ නොදුටු අන්දමින් සිටීම පිළිබඳව කණස්සල්ල පළ කරන බව ද කියා සිටියේය.

අංක තහඩු නැති යතුරු පැදිවල හෙල්මට් නැතිව නීති විරෝධී ලෙස ගමන් කරමින්, නිරෝධායන නීති කඩමින්, පෙලපාලි යමින් පුත්තලමේ අපේක්ෂකයන් කළ නීති විරෝධී ක්‍රියාවන් ගැන තමන් පොලිස්පතිවරයාට ද පැමිණිලි කළ බවත් පොලිසිය කියා ඇත්තේ පැමිණිල්ලක් නොමැති බව වුවත් ඒ පිළිබඳ අවශ්‍ය තරම් සාක්ෂි පවතින බවත් කී ගජනායක මහතා මේ නීති අමු අමුවේ උල්ලංඝණය කරන්නේ හිටපු ඇමතිවරුන් විසින් නිසා පොලිසියට බියේ සිටින බව පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

මේ වනවිට පැමිණිලි 1500 ක් පමණ තම සංවිධානය වෙත ලැබී ඇතැයි කී ගජනායක මහතා කොළඹ , පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලින් වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහි බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් එනම් පැමිණිලි 341 ක් ලැබී ඇති බවත් සමගි ජන බලවේගයට එරෙහිව පැමිණිලි 123 ක් ද, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැමිණිලි 47 ක් ද ලැබී ඇති බව ද ඔහු කියා සිටියේය.