පුත්තලමට කොළඹ කුණු එපාලු


( එච්. චන්දන )

දිවයිනේ සියලු කසළ පුත්තලමට දමන්නේ එහි වැසියන් පුත්තලම් බූරුවෝදැයි තමන් ප්‍රශ්න කරන බව  වාරිමාර්ග හා ඡල කළමනාකරණ රාඡ්‍ය ආමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මෙලෙස ප්‍රශ්න කළේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (27) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේදී අරුවක්කාරු ප්‍රදේශයට කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධව සාකච්ඡා වූ  අවස්ථාවේදීය.

“අපි කුඩා කාලයේ  සිමෙන්ති කුඩුවලින් බැට කැවා.  හලාවත මාදම්පේට යකඩ කම්මලක් ගෙනාවා.පුත්තලම කල්අඩියට යකඩ කම්හලක් ගෙනාවා එහි අතුරු ප්‍රතිඵල තවම දන්නේ නෑ සොයා බලන්න ඕනේ. “

“දැන් කොළඹ කුණු අරැවක්කාරැවලට ගෙනල්ලා දාන්න යනවා. ඔය සම්බන්ධව  වැඩ කරන කැබිනට් ඇමතිවරයා පුත්තලමේ රඡයේ  නිළධාරින් සමග හදිසියේ අරැවක්කාරුවලට ඇවිත් ගිහිල්ලා කඩිනමින් තීරණ ගන්නවා.පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු,පළාත් සභා මන්ත්‍රීවරයකු තියා පුත්තලම සහ ආණමඩුව ආසනයේ ඡනතා නියෝඡිතයන්ටවත් මේ ගැන දැනුවත් කර නැහැ. ප්‍රදේශයේ  ඡනතාව කුලප්පු වුණාම  අපිව මතක් වෙනවා.“

“මුහුද , කලපුව සහ වනාන්තර මෙහෙ තියෙනවා.මේ කුණු ප්‍රශ්නය නොතකා ඉන්න කියන එක නෙමෙයි කියන්නේ.මින් පුත්තලම දිස්ත්‍රික්කයේ ඡනතාවට තවත් ප්‍රශ්නයක් ඇති වනවාට අපි කැමති නෑ“ යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.