( ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විවෘත කර , සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීමේ උත්සවය අද (09) උදෑසන පැවැත්විණි .
මෙය අනුක ජීවී වෛද්‍ය රසායනාගාරය ලෙස නම් කර ඇති අතර එහි පී.සී.ආර්.පරීක්ෂණ යන්ත්‍ර 02 ක් ද න්‍යෂ්ටික අම්ල වෙන් කර ගැනීමේ ස්වයංක්‍රීය යන්ත්‍ර 02 ක් ද , ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද මෙහි ස්ථාපිත කර තිබේ .
මෙහි දිනකට ගුවන් මගින් පැමිණෙන 500 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමේ ධාරිතාවයක් පවතී .
මෙම වෛද්‍ය රසායනාගාරය රුපියල් මිලියන 70 ක් පමණ වටිනාකමක් ඇති අතර , ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් සදහා පරිත්‍යාග ලෙස ලැබී තිබූ වෛද්‍ය රසායනාගාර උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහි ස්ථාපිත කර තිබේ .
එනිසා මෙම වෛද්‍ය රසායනාගාරය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කිසිදු මුදලක් වැය නොකර ඇති අතර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රුපියල් මිලියන 16.5 ක් වැය කර මෙම ගොඩනැගිලි සංකීර්ණය සති දෙකහමාරක් වැනි කෙටි කාළයක් තුළ සාදා නිම කර දී තිබේ .
මෙම පී.සී.ආර්.පරීක්ෂණ බාහිර පෞද්ගලික රෝහල් වල රුපියල් 6000 ත් 8000 ත් අතර මිලකට සිදු කෙරෙන අතර , ඒ සදහා ඔවුන්ට පැය 06 ක පමණ කාළයක් ද ගත වේ .
එහෙත් කටුනායක ගුවන් තොටුපළ තුළ ස්ථාපිත මෙම නව වෛද්‍ය රසායනාගාරය මගින් පැය දෙකහමාරක් වැනි කාළයක් තුළ,මෙම පරීක්ෂණ නොමිලේ ම සිදු කර ගත හැකිය .
මෙම උත්සව අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ,සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් , වෛද්‍ය එච්.එස්.මුණසිංහ , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ , වෛද්‍ය හේමන්ත බෙනරගම (නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් රසායනාගාර සේවා ) ,ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර , වෛද්‍ය රසායන විද්‍යාඥ වෘත්තීයවේදී විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .




