පිළියන්දල පැත්තෙත් ප්‍රශ්නපත්‍ර අවුලක්


දෙවැනි වාර විභාගය සඳහා පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය මගින්  අද (18) එම කලාපයේ පාසල්වල පැවැත්වූ 10 ශ්‍රේණිය බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ තිබූ මුද්‍රණ දෝෂ රැසක් නිසා සිසුහු දැඩි අපහසුතාවටපත් වූ බව ලංකා ගුරු සංගමය කියයි.

බුද්ධ ධර්මය පළමු ප්‍රශ්නපත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 40ක් තිබූ අතර එයින් ප්‍රශ්න 21ක් මුද්‍රණ දෝෂ සහිත විය.

දෙවැනි ප්‍රශ්නයේ ‘කර්ම විභාගය‘ යන්න වෙනුවට ‘කර්ම කවිභාගය‘ ලෙසත්, තුන් වැනි ප්‍රශ්නයේ ‘සිත සංවර කර ගැනීම‘ වෙනුවට ‘සිත කකසංවර කර ගැනීම ලෙසත්, නව වැනි ප්‍රශ්නයේ ‘දේවානම් පියතිස්ස‘ යන්න වෙනුවට දේවානම් කපියතිස්ස‘ ලෙසත් මුද්‍රණය වී ඇත.

ඊට අමතරව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ  අංක 12,13, 14, 15, 16, 19, 20, 21, 23, 24, 25, 26, 28, 30, 31,38 සහ 39 ප්‍රශ්නවල මුද්‍රණ දෝෂ රැසක් තිබිණි.

බුද්ධ ධර්මය දෙවැනි කොටසේ පළමු හා දෙවන ප්‍රශ්න වලද ගැටළු තිබූ බව සිසුහු  පැවසූහ.

විභාගයට පෙර දින කලාපයේ පාසල්වලට එම වැරදි නිවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් වෙනම යවා ඇති අති අතර ඇතැම් පාසල් වල එහි පිටපත් මුද්‍රණය කර සිසුන් අතට ලබා දී තිබිණි. තවත් පාසල් රැසක් එම සංශෝධන කියවා ඇති අතර ඒවා සටහන් කර ගෙන පිළිතුරු ලියද්දී කාලය ප්‍රමාණවත් වී නැත.

පිළියන්දල කලාපයේ බුද්ධ ධර්මය විෂය සඳහා ස්ථිර විෂය අධ්‍යක්ෂවරයෙක් නැතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.

පිළියන්ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී ඒ රංජිත් මහතා පැවසුවේ සුළු අඩුපාඩු කිහිපයක් තිබූ බවයි. එය නැවැරදි කර සංශෝධිත පත්‍රිකාවක් ද යැවූ බවත්, ඉදිරියේ ඇති විෂයනවල ප්‍රශ්නපත්‍රයන්හි අඩුපාඩු ඇත්දැයි නැවත බලන ලෙස තමා දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.