
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග 13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත.
තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ සහ අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.
මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.
පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ,
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.














