පිටි කෝච්චියට වල් අලි දෙකක් බිලි


(චාපා මධුභාෂිණී)

කොළඹ සිට ත්‍රිකුණාමළය දක්වා තිරිගු පිටි ප්‍රවාහනය කළ දුම්රියක  තලපත්කන්ද දුම්රිපොළ ආසන්නයේදී වල් අලි දෙදෙනකු මරණයට පත්ව ඇති අතර තවත් එක් අලියකු තුවාල ලබා ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.

මෙම වන අලි ගැටීමෙන් සිදු වූ අනතුරෙන් දුම්රිය පිලී පැනීම නිසා දුම්රිය ගමනා ගමනය අවහිර වී ඇත.

මෙම අනතුරෙන් වයස අවුරුදු 4 පමණ අලියකු සහ වයස අවුරුද්දක් පමණ වන කුඩා අලි පැටවකු මරණයට පත්ව ඇති අතර තවත් වයස අවුරුදු 15 පමණ ඇතින්නක් බරපතල තුවාල ලබා ඇතැයි කවුඩුල්ල උද්‍යාන ආරංචිමාර්ග කියයි.

ගල්ඔය රක්ෂිතයේ සිට හුරුළු පාරිසරික වනෝද්‍යානය අතර සැරිසරණ වල් අලි විශාල සංඛ්‍යාවක් තලපත්කන්ද මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් ජලය බීමට පැමිනෙන අතර මීට පෙරද අවස්ථාවන් රැසක මෙම නළ ලිදේ ජලය බීමට පැමිණි වන අලි විශාල සංඛාවක් දුම්රියේ ගැටී මරණයට පත්වූ බව අප අවස්ථාවන් රැසකම වාර්ථා කෙරිණි.

නිරන්තරයෙන් මෙම දුම්රිය මාර්ගය හරහා වන අලි මාරුවන බවට විශේෂ පුවරු සවි කර තිබුණද දුම්රිය රියදුරන් සිය දුම්රිය ගමන් වේග සීමා ඉක්මවා යාමෙන් වන අලි මෙලෙස අනතුරට පත්වන බව ගැමියෝ චෝදනා කරති.