පාස්කු ප්‍රහාරකයාට තඹ දෙන්න කිව්වේ රජයේ උසස්ම නිලධාරීන් දෙන්නෙක්


(දසුන් රාජපක්ෂ)

මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ කොලෝසස් පුද්ගලික සමාගම සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඊට ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ මහත්මිය  කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක මහතා පැවසීය.

පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් කේ.ඩී.රංජිත් අශෝක මහතා එසේ අද (3) ප්‍රකාශ කළේය.

කොලෝසස් පුද්ගලික සමාගම පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් එකකි.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත කොලෝසස් පෞද්ගලික සමාගමට අනෙකුත් ගැණුම්කරුවන්ට වඩා වැඩි තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතාගේ අත්සන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මියගේ අත්සන සහිත ලිපි දෙකක් මගින් එම දැනුම් දීම කර තිබුණු බව කේ.ඩි. රංජිත් අශෝක මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් සදහන් කළේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා 2018 ජුලි 6 වැනිදා එම ලිපිය එවා තිබු බවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මිය 2018 පෙබරවාරි 5 දින අදාළ ලිපිය එවා තිබු බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයත්වී තිබුණු කොලෝසස් පෞද්ගලික සමාගම ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුකිරිම සඳහා රුපියල් කෝටි 4 ½ යොදවා ඇත්තේ මීට ඉහත දී මෙම ජනාධිපති කොමිසමට ලැබුණු සාක්කි වලින් අනාවරණය වී තිබිණි. මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (3) රැස්විය.