(බිඟුන් මේනක ගමගේ)
රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කළ ශ්‍රේණි සඳහා ඉදිරි සති දෙකක කාලයේදී විශේෂ නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලාසිටි බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.
පාසල්වල අධ්‍යයන කටයුතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළ ද බොහෝ පාසල්වල ඊට අනුව අද(6) කටයුතු කර නැතැයි ද ඒ නිසා මෙසේ ඉල්ලීමක් කළේ යැයි ද ස්ටාලින් මහතා කීය.
පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යක්ෂවරුන් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට නිසි දැනුවත්කිරීම් නොකිරීම මෙම තත්ත්වයට මූලිකවම බලපා ඇතැයි ස්ටාලින් මහතා කීය.
එහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ යන පළාත්වල අධ්‍යාපන ලේකම්වරුන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනි චක්‍රලේඛ නිකුත් කර ඇතැයි චෝදනා කළ හෙතෙම සෙසු පළාත් සභා පහේ අධ්‍යාපන ලේකම්වරුන් කිසිදු උපදෙසක් නිකුත් කර නැතැයි ද කීවේය.
මේ නිසා පාසල් පරිශ්‍ර සෞඛ්‍යාරක්ෂිත ස්ථාන ලෙස පවත්වාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක වීම සැකසහිත යැයි ද ස්ටාලින් මහතා කීය.
ගුරුවරුන්ට නියමිත පළමු කාලච්ඡේදයට මිනිත්තු තිහකට පෙර පාසලට පැමිණීම මෙන්ම අධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම හා පිටවීම සඳහා වෙනම අත්සන් ලේඛනයක් භාවිත කිරීමට උපදෙස් දී තිබුණ ද ඇතැම් පාසල්වල එය ඒ ආකාරයෙන් ක්‍රියාවට නැගී නැතැයි ද ඒ මහතා සඳහන් කළේය.
මෙම තත්ත්වය අනුව පළාත් අධ්‍යාපන ලේකම්වරුන් මගින් අදාළ සෞඛ්‍යාරක්ෂිත පරිසරය සැකැසීම සැකසහිත යැයි ද විශේෂ නියාමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමකින් තොරව අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගත නොහැකි යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

