පාසල් සිසුවකුගෙන් මදුරු මර්දන බඳුනක්


(මනෝජ් හර්ෂික)

ප්ලාස්ටික් භාජන හා ටින් බඳුන්වලට  ජලය එකතුවී මදුරුවන් බෝවීමෙන් විවිධ වසංගත රෝගවලට ගොදුරුව සෑම වසරකම විශාල පිරිසකගේ ජීවිත අහිමි වීම සුලභව වාර්තා වෙයි‍.

කොතෙකුත් නීති පැනවුවද, දැනුවත් කළ ද  බොහෝ අය ඒ පිළිබඳ දක්වන සැලකිල්ල ප්‍රමාණවත් බවක් නොපෙනේ. මෙම ව්‍යසනය යම් තරමක් දුරට මඟහරවා ගැනීමට හා මෙයට පිළියමක් ලෙස භාවිතයෙන් පසු පතුල ඉවත් කළ හැකි බඳුනක්  නිර්මාණය කිරීමට සිසුවකු සමත්ව තිබේ.

ඔහු නමින් පී.ඩී පසිදු මිහිරාන්ය. ගොකරැල්ල මහා විදුහලේ ඉගෙනුම ලබන ඔහු  මෙවර  සාමාන්‍ය පෙළ  විභිගයට පෙනී සිටි සිසුවෙකි.

ශිල්පීය දැනුමෙන් සහ උත්හාසයෙන් නව නිර්මාණයක් බිහි කර ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ ඉහළම ස්ථානයක රැඳවීමට සමත් වූ ඔහු ලංකාදීපයේ අපට හමුවිය. 

මෙම විශේෂිත බඳුන නිර්මාණය කළ පී.ඩී.පසිදු මිහිරාන් සිසුවා ලංකාදීපයට මෙසේ අදහස් දැක්වීය.

'වෙළඳපොළේ ඇති විවිධ ආහාර වර්ග ඇසිරීමට ගන්නා ප්ලාස්ටික් හා ටින් බඳුන් භාවිතයෙන් පසු පරිසරයට බැහැර කිරීමෙන් විශාල පාරිසරික ගැටලු රැසකට මුහුණ දීමට අද මුළු මහත් ලෝකයටම සිදුව තිබෙනවා. ඒ අතරින් මදුරුවන් බෝවන ප්‍රධාන සාධකයක් ලෙසට  මෙය හඳුනා ගන්න   පුළුවන්. එහෙත් මෙය හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණත් මදුරුවන් මඟින් ඇතිවන වසංගත රෝග වලින් කොතරම් මිනිසුන් මියගියත්  මෙතෙක් එයට සාර්ථක විසඳුමක් ලබා දීමට ලෝකයේ දියුණු රටවලට පවා හැකියාවක් ලැබුණේ නැහැ.

ඩෙංගු මැලේරියාව වැනි වසංගත රෝග වලින් අපේ රටේ විශාල පිරිසක් දිනකට මියයනවා. මදුරුවන් බෝවීම වැළැක්වීම පිළිබඳව රජය මඟින් හා විවිධ පාර්ශ්ව ජනාතාව කොතරම් දැනුවත් කළද එය 100% ක් සාර්තක වී නැහැ.

මේ සඳහා යෙදිය හැකි පිළියම් පිළිබඳව මම විවිධ දේවල් අත්හදා බැලුවා එහි ප්‍රතිඵලක් විදියට තමයි භාවිතයෙන් පසු පතුළ ඉවත් කළ හැකි බඳුනක් නිර්මාණය කිරීමට පෙළෙඹුණේ. බැලු බැල්මට මෙය සරල ලෙස පෙනුනත් මෙයින් ඉටුවන කාර්යය නම් සරල නැහැ.

මෙම නිර්මාණය සඳහා 2019 වසරේ කොරියාවේ පැවති කොරියානු ජාත්‍යන්තර තරුණ ඔලිම්පියාඩි නව නිපැයුම් කරුවන්ගේ තරඟයෙන් මට රන් පදක්කමක් හිමිවුණා.මේ සඳහා ලෝකයේ දියුණු රටවල් ඇතුළුව රටවල් 37ක තරඟකරුවන් 400 දෙනක් මෙම සඳහා ඉදිරිපත් වුණා.එයිනුත් හොඳම 10 දෙනා අතරට සහ හොඳම නිර්මාණ පහට පමණක් ලබා දෙන විශේෂිත සම්මානය දිනා ගැනීමටද මට හැකි වුණා.

ඒ වගේම මෙම නිර්මාණය සඳහාම 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැති සහසක් නිවැවුම් තරඟයෙන් ද හොඳම නව නිපැයුම් නිර්මාණ 10 අතරට ඒමටත් රන් පදක්කමක් දිනා ගැනීමටත් මට හැකියාව ලැබුණා. මම අධ්‍යාපනය ලබන්නේ ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 11වැනි ශ්‍රේණියේ. මේ නිර්මාණවලට කාලය කොතරම් කැප කළත් මගේ අධයාපන කටයුතුවලට එය බාධාවක් කර ගත්තේ නැහැ.මේ  වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා මම පෙනී සිටියා. තාක්ෂණවේදය අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිමට ද මා බලාපොරොත්තු වෙනවා.මගේ තාත්තා වෘත්තියෙන් කාර්මිකයෙක් අම්මා ගෘහණියක් මට තව බාල සහෝදරියක් ඉන්නවා.

කුඩා කාළයේ ඉඳන්ම තාත්තා වැඩ කරන ආකාරය මම ආශාවෙන් බලාගෙන හිටියා.මතක ඇති කාලයේ ඉඳලම මමත් විවිධ දේ අත්හදා බැලුවා නිර්මාණය කළා.ඒවායින් ලැබු කුතුහලයෙන්  හා පන්නරයෙන් විවිධ නිපැයුම්  තුළින් විවිධ නව නිපැයුම් කිරීමේ ආශාව මට තවතවත් වැඩි වෙන්නැති.

පතුල ඉවත් කළ හැකි බඳුන මගේ පළවෙනි නිර්මාණය නෙවෙයි. මීට කලින් පරිසර හිතකාමී පැනක් සහ අන්ධ පුද්ගලයන්ට තනිවම ක්‍රීඩා කළ හැකි රූබීක් කෑටයක් මා නිර්මාණය කළා.එම නිර්මාණ වැඩි දියුණු කර රටට ලෝකයට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මම නිර්මාණය කළේ භාවිතයෙන් පසු ප්ලාස්ටික් සහ ටින් බඳුන්වල පතුල පමණක් ගලවා ඉවත් කර දැමිය හැකි නිර්මාණයක්. එහෙත් එහි පතුල සහ උඩු පියන ඉවත් කර දැමුවද එහි මධ්‍ය කොටස පරිසරයට එක්වීම නිසා එයින්ද සිදු වන්නේ පරිසරයට විශාල හානියක්. මේ ගැටලුවට විසඳුමක් ලෙස අවට පරිසරයෙන්ම ලබා ගත හැකි ඉතා ඉක්මණින් දිරා යන අමුද්‍රව්‍ය යොදගෙන මෙම භාජනය නැවත නිර්මාණය කිරීමට ද මා බලාපොරොත්තු වෙනවා.

මා නිපදවූ නිර්මාණය වැඩිදියුණු කර වෙළෙඳ පොළට යොමු කිරීමට හැකි වුණොත් එමඟින් රටට විශාල ආයෝජනයක් වගේම වැනි දුෂ්කර ප්‍රදේශයකට රැකියා අවස්ථා උත්පාදනයක් ද මෙමඟින් ඇති වෙනවා. තවද පරිසරය සුරැකීමේ ක්‍රියාවලියක් නිර්මාණය වෙනවා.එය අපිට වගේම රටටත් ලොකු සේවයක්.මේ පිළිබඳව සොයා බලා නිසි පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

මෙම නව නිර්මාණය සඳහා අදාළ පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම සඳහා මා ඉල්ලුම් කර තිබෙනවා.නමුත් තවම එය ලැබී නැහැ.මේ ගැටලුව නව නිර්මාණ සිදු කරන බොහෝ දෙනකුට තිබෙනවා.මේ පිළිබඳවත් බලධාරින්ගේ අවධානය යොමු වෙනවා නම් ශ්‍රී ලංකාව පුරා සිටින නව නිර්මාණ බිහි කරන අයට එය වඩාත් ශක්තියක් වෙයි තව තවත් නිර්මාණ බිහි කරන්නට.

නව නිර්මාණයක් බිහි කර අපේ පුංචි රටේ  නම ජාත්‍යන්තරයට අරන් යන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.මේ හැම දේයකදීම මගේ ළඟින්ම සිටි අම්මා,තාත්තා,නංගී ඒ වගේම පාසලේ විදුහල්පතිතුමා,තාක්ෂණය විෂය බාර ගුරුතුමා සහ මේ සම්බන්ධයෙන් සෑම ආකාරයකින්ම උදව් උපකාර කළ සියලු දෙනාට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා'' යැයිද එම සිසුවා පැවසීය.