සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු සංකිර්ණය පිටුපස ලඳු කැලයේ කොළ දිවි රංචුවක් මේ දිනවල නිතර සැරිසරන බව වාර්තා වේ.
මේ කොළ දිවි රංචුව නිතර සැරිසරන්නේ යැයි පැවැසෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිටුපස නාවික හමුදා කඳවුරට ආසන්න ලඳු කැලයේය.නාවික නිලධාරීන් ද මෙම කොළ දිවියන් දැක ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුව අවට ලඳු කැලයේ සිටි කොළ දිවියෙකු මීට වසර කිහිපයකට පෙරද වනජීවී නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු පොලිස් ස්ථානාධිපති කුෂාන් ලියනගේ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ කොළ දිවි රංචුවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතත් ඔවුන්ගෙන් පාර්ලිමේන්තුවට කිසිදු තර්ජනයක් නැති බවයි.
කොළ දිවි රංචුව ගැන වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

