පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන්


(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු නිලධාරින්  200 දෙනකු රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරීක්ෂණවලට  ලබන 21 වැනිදා යොමු කිරීමට  කටයුතු යොදා ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මන්ත්‍රීවරුන් සහ  නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට   මෙදින උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා   යොමුකෙරේ.

මෙම පරීක්ෂණවලට යොමු කිරීමේදී  කොරෝනා  ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වු  සේවකයන්, පාර්ලිමේන්තු භෝජනාගාර යන්හි සේවක පිරිස්, ප්‍රවාහන අංශයේ සේවය කරන අය, පොදු ප්‍රවාහනවලින් පැමිණෙන  සේවකයන් සහ ගෘහ  පාලන හා නඩත්තු කටයුතුවල යෙදී සිටින පිරිස් කෙරෙහි වැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට මෙයට පෙරද යොමු කරනු ලැබූහ. 

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා අඟහරුවාදා රැස්වීමට නියමිතය.

එදින මෙම පරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ  මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සේවකයෝ 50කට වැඩි පිරිසක් කොවිඩ්  රෝගයට මෑත භාගයේදී ගොදුරු වූහ. ​