පාඨලීගේ සුවදුක් බලන්න රනිල් බන්ධනාගාරයට යයි


(නිමල කොඩිතුවක්කු)

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුව දුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් අද (20) පස්වරුවේ එහි ගියහ.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ආංශු මාරසිංහ, සිඞ්නි ජයරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පාඨලී චම්පික රණවක මහතාගේ සුව දුක් විමසා බැලීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

‘‘චම්පික රණවක මහතා මුණ ගැසී අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම දින කිහිපයකට පෙර අධිකරණයට  දැනුම් දුන්නා මන්ත‍්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක්  නැහැ කියලා. ඊට පස්සෙ පාර්ලිමේන්තු  සම්ප‍්‍රදාය කඩ කරලා අත්අඩංගුවට ගත්තයින් පස්සෙ විතරයි  කතානායකතුමන්ට මේ ගැන දැනුම් දුන්නේ.

පක්ෂ නායකයින් මේ ගැන කථානායකතුමන්  සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඨලී චම්පික රණවක මහතා රාත‍්‍රීයේ  අත්අඩංගුවට ගැනීමේ හේතුවක් නැහැ.  ප‍්‍රශ්නයක් තිබුණා නම්  එතුමන්ට උදේ වරුවේ එන්න කියන්න තිබුණා. මේවා විශාල ප‍්‍රශ්න විදියට අපි දකිනවා.

 

ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි