පාකිස්තානයේ වාර්තා ගත තෙල් මිල වැඩිවීමක්


 

මූල්‍ය වර්ෂය අවසන් වීමට දින කිහිපයක් තිබියදී වාර්තා ගත අයුරින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත.

පාකිස්තානයේ මූල්‍ය වර්ෂය ජූනි 30 වැනිදායින් අවසන් වීමට නියමිත අතර වසර 68කට පසු නව කොරෝනා වයිරසය හේතුවෙන් එරට ආර්ථිකය හැකිළීමකට ලක්වනු ඇතැයි ද පැවසේ.

ඉන්ධන මිල ගණන් වැඩිවීම 27% සිට 66% දක්වා වැඩි වීමට නියමිත අතර අදාළ ඛනිජ තෙල් නිෂ්පාදනය අනුව එම ගණන් තීරණය වේ. මිල ගණන් වැඩි කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පාකිස්තාන ආණ්ඩුවට එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මේ මස ජූනි 30 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂයේදී  එරට දළ දේශීය නිෂ්පාදිතය 0.4% කින් අඩු වන්නේ යැයි මේ වනවිට ඇස්තමේන්තු කර ඇත. මේ වසරේදී එරට ආර්ථිකය 2.4% කින් වර්ධනය වනු ඇතැයි මීට පෙර ඇස්තමේන්තු කර තිබිණි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයට පත්වීමත් සමඟ පාකිස්තාන ආර්ථිකය 2018 වසරේ සිට ක්‍රමයෙන් පහත වැටෙන අයුරු දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් පාකිස්තානආර්ථිකයට මේ වසරේ මාර්තු මාසයට දැඩි බලපෑමක් එල්ල විය. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ‘ලොක්ඩවුන්’ සීමා පැනවීම ඊට ප්‍රධාන වශයෙන් හේතුවිය.

ඉකුත් මැයි මාසයේදී පාකිස්තාන ආණ්ඩුව එම සීමා ලිහිල් කළ අතර ඉන් අනතුරුව එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන වේගයෙන් වැඩි විය.

පාකිස්තානයෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන2,02,955ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 4,118කි.

 

 

අල්ජසීරා/.එෆ්.පී.

 

055