ප්‍රේමලාල්ගේ මරණීය දණ්ඩනය වෙනුවෙන් අභියාචනා පෙත්සමක්


(ලසන්ත නිරෝෂණ පෙරේරා )      

රත්නපුර මහාධිකරණයේ දී පසුගිය 31 වැනිදා මරණිය දණ්ඩනය නියම වූ හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් ඔහුගේ නීතිඥයින් විසින් රත්නපුර මහාධිකරණයට අද (04) වැනිදා ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව නීතිඥ චන්දික පිරිස් සහ නීතිඥ ටි.එම්. ජනක සුමේධ යන මහත්වරුන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

1079 අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 331(1)  වගන්තිය ප්‍රකාරව මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.                       

පසුගිය 2015 වසරේ ජනවාරි 05 වැනිදා කහවත්ත නගරයේදී එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ අධාරකරුවෙකු වන සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සහ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, නීති විරෝධී ජනරාශියක සාමාජිකයින් වීම ඇතුළු චෝදනා අටක් මත ප්‍රේමලාල් ජයසේකර , හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට රත්නපුර මහාධිකරණ විනිසුරු රෝහාන් ජයසුරිය මහතා විසින් ඉකුත් 31 වැනිදා මරණිය දණ්ඩනය නියම කළේය.

එහිදී පැමිණිල්ල විසින් සාක්කි 58 ක් ඉදිරිපත් කර තිබුණි. තුන්වැනි විත්තිකරු වූ ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පමණක් අභියාචනා පෙත්සම අද ඉදිරිපත් කළ අතර අනෙක් දෙදෙනා වෙනුවෙන් පසුව අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරන බව නීතිඥ ජනක සුමේධ මහතා පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසු පැවසීය.

ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරිපත්ව සිටි.