ප්‍රා.ලේකම් අත්සන නොමැතිව ග්‍රාම නිලධාරී සහතිකය බලාත්මකයි


( දිල්රුක්ෂි ග්‍රේරු )
යම් පුද්ගලයකු සඳහා ග්‍රාම නිලධාරීවරයකු  විසින්  නිකුත් කරනු ලබන පදිංචි සහතික සහ චරිත සහතිකය ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනු අත්සනින් තොරව වලංගු සහතිකයක් වන බවට පත් කරමින්  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය එළැඹෙන 10 වැනිදා සිට වලංගු වේ.

මහජනතාවට සිදුවන අපහසුතාවන් අවම කිරීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පය මත  සිදු කෙරෙන  මෙම වැඩපිළිවෙල   රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ  පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.
  
ග්‍රාම නිලධාරීවරයකු නිකුත් කරනු ලබන  චරිත සහතිකයක්  හෝ  පදිංචි සහතිකයක් වලංගුබව තහවුරු  වීමට නම් අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය ලේකම්වරයාගේ අනු අත්සන සහිතව නිකුත් කළ යුතු ක්‍රමවේදයක් මීට පෙර පැවැතිණි.

එම  ක්‍රමය අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛය නිකුත් කිරීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

ප්‍රාදේශිය ලේකම් කාර්යාල වලින්  ග්‍රාම නිලධාරීන් සඳහා  පදිංචි සහතික සහ චරිත සහතික  පොත් නිකුත් කිරීමේදී එම පොත්වල  ඇතුළත් සෑම සහතිකයක්ම  ග්‍රාම නිලධාරී කොට්ඨාසය සඳහන් මුද්‍රාව තැබීමෙන් අනතුරුව පමණක්  ග්‍රාම නිලධාරීන්ට නිකුත් කළ යුතු බවද චක්‍රලේඛයේ සඳහන්ය.

එමෙන්ම  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  නම හා ග්‍රාම නිලධාරී  කොට්ඨාසයේ නම ඇතුළත් මුද්‍රාවක් සකස් කර තිබිය යුතු අතර එය සකසන තුරු දැනට භාවිත කරන මුද්‍රාව භාවිත කළ යුතු බවත්  පදිංචි සහතික චරිත සහතික හැර වෙනත් ආකෘති/ ලිපි හෝ සහතික භාවිත කර  පදංචිය සහ චරිතය පිළිබඳව තහවුරු කිරීම සිදු නොකරන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දෙන  ලෙසද  එහි දක්වා තිබේ. 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ  පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්  එස්.හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව දිවයින පුරා සියලු දිස්ත්‍රික් ලේකම්වරු, දිසාපතිවරු සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට මෙම ලිපිය යොමු කර   අදාල පාර්ශව දැනුම්වත් කරන ලෙස උපදෙස් ලබා දී  ඇත.