ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බලාත්මක වීම පමාවේ


බිඟුන් මේනක ගමගේ 
 
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රථම වරට පිහිටුවා ඇති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සංශෝධනය සඳහා සිය යෝජනා හා නිරීක්ෂණ ලබාදීමට කැබිනට් මණ්ඩලය අවස්ථාව ඉල්ලා ඇත.

 
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සැකැසූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ක්‍රියා පටිපාටිය පසුගිය මැයි 9 වැනිදා ගැසට් කරන ලද අතර එය මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට නියමිතව පැවැතිණි.
 
එහෙත් ඇමැතිවරුන් මෙසේ සිය යෝජනා හා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලාසිටීම නිසා එම මාර්ගෝපදේශ සංග්‍රහය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පමා විය හැකි යැයි කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 
රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වන භාණ්ඩ, වැඩ, සේවා, තොරතුරු පද්ධති හා  උපදේශකවරුන් තෝරා ගැනීම සහ සේවයේ නියුක්ත කිරීමට අදාළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත පවරා ඇති මූලික කාර්ය වේ. 
 
එම නිසා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඵලදායීතාවය ඉහළ නැංවීම, විධිමත්ව ප්‍රසම්පාදනය සැලසුම් කිරීම, ක්‍රමානුකූලව ලන්සු ඇගයීම, කොන්ත්‍රාත් පරිපාලනය වැනි අවශ්‍යතා සපුරාලීමෙන් මහජන මුදල් ඉතිරිකරගැනීමට හැකි වන්නේ යැයි පැවැසිණි.
 
මාර්ගෝපදේශ සංග්‍රහය බලාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ සම්මතවීමෙන් පසුවය.