ප්‍රවීණ නර්තන ශිල්පී නිලාන් මලිගැස්ප පසුගියදා ඉන්දියාවේ නර්තන වැඩමුළු කිහිපයක් සඳහා සහභාගි විය. ඒහා බැඳුණු කතා බහකි අද කතාබහෙන් දිගහැරෙනුයේ.
සොඳුරු මතක දිගහැරුම
දැනට අවුරුදු දෙකකට පෙර පංජාබ්වල ඩෙත් ඇන්ඩ් බ්ලයින්ඩ් පාසලේ කුල්කරන් සිං ලදාක්වලදි හමුවෙනවා. මගේ ළමයින්ගේ දක්ෂතා දැකලා ඔහු කතාකරන කාලෙ ඉමෝෂනල් ඩාන්ස් ගැන අත්හදා බැලීමකයි හිටියේ. ඔහු මට කිවුවා මම පාසලක් කරනවා පංජාබ්වල. සියලුම ආධාර ලැබෙන්නෙ දානපතියන්ගෙන්. කවදාහරි ඔබේ උත්සාහය සාර්ථක වුණොත් මගේ තැනට ඇවිත් අපේ අයට උගන්නන්න කියලා. කොහොම හරි ඔවුන්ගේ මුළු ඉන්දියාවටම විවෘත වැඩසටහනක් තිබුණා සංස්කෘතික ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ආදිය සම්බන්ධ කරලා. ඔවුන් ආරාධනා කළා එයට එන්න කියා. මෙයට අනුග්‍රහය දැක්වූවේ ඉන්දියා ශ්‍රී ලංකා පදනම. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය. මට මුදල් තිබුණෙ නෑ ඉන්දියාවට යන්න. ඔවුනුත් ස්වේච්ඡා ආයතනයක් නිසා ඉඳුම් හිටුම් හැම පහසුකමක්ම දෙනවා. නමුත් ලොකු මුදලක් ඔවුන්ට වියදම් කරන්න බෑ.
මොකද ළමයි වෙනුවෙන් සේවය කරන නිසා. මේ අවස්ථාවේ මට ඉන්දියානු ශ්‍රී ලංකා පදනම අවශ්‍ය ප්‍රතිපාදන ලබාදුන්නා.මට යන්න තිබුණෙ ළමයි දෙන්නෙකුත් එක්ක. ඔවුන් කියල තිබුණා පුළුවන්නම් ළමයි කිහිප දෙනෙක් එක්ක එන්න. එහි ආරාධිත අමුත්තන් ලෙස නර්තනයක් ඉදිරිපත් කරන්නට. මටත් හිතුණා හතර දෙනෙක්වත් ගිහින් යමක් කරනවා නම් හොඳයි කියා. මගේ අලුත් සහ හැමදාම මගේ පරණ ගෝලයෝ වගේම අලුත් ගෝලයො දෙතුන් දෙනෙකුත් අරන් යනවා ඔවුන්ට අත්දැකීමක් ගන්න ඕන නිසා. මේ සැරේ මගේ අවුරුදු 14 ශිෂ්‍යාවකුත් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම ඔවුන් අපේ පැමිණීම සහ පුහුණුව අපේක්ෂා කළ 21 වැනිදා තමයි ගියේ. 23 වැනිදා පංජාබ්වල වෙනත් පාසලක ප්‍රසංගයක් ඉදිරිපත් කරන්න. එයටත් ලොකු ප්‍රතිචාර ලැබුණා. ඔවුන් ලංකාවේ නර්තනයක් දැකපු පළවැනි වතාව. අපි බොහෝ වෙලාවට අපේ සාම්ප්‍රදායික නර්තනය සහ නිර්මාණාත්මක නර්තනය වැඩිකරල පෙන්නුවා. ඉමෝෂනල් ඩාන්ස් එක්ක නර්තනයේ තිබුණ නර්තනයට සහ ක්‍රියාවට බොහෝ කැමතිවුණා. ඒ අවස්ථාවේදිත් අන්ධ සහ බිහිරි ළමයි උත්සවයට සහභාගි වුණා. අනතුරුව තිබුණේ 24,25 ,26 යන දවස්. ඒ දවස් කිහිපයේම අපිට පැවරුණු කාර්ය භාරය තමයි ගුරුවරුන්ට පුහුණු කිරීම.
ඉගැන්වූ ලාංකීය නර්තන
කැන්ඩියන් ඩාන්ස්වල මූලික හරය තමයි එහිදී අපි ඔවුන්ට ඉගැන්නුවේ. එමෙන්ම ශ්‍රී ලංකන් ඉමෝෂනල් ඩාන්ස් නර්තන ගුරුවරියන්ට ඉගැන්වුවා. එය ඉතාම සාර්ථකයි. මම හින්දි සින්දු තුනක් පමණ පරිවර්තනය කරගෙන ගියා. මම මාස දෙක තුනක්ම පුහුණුවීම් කළා. එහිදී ගුරුවරුන්ට නර්තනය ඉදිරිපත් කරන්න දවසක් තිබුණා. 27 වැනිදා සමාරම්භක උත්සවයේදී නර්තනයක් ඉදිරිපත් කළා. එයට සෑහෙන ප්‍රතිචාර තිබුණා. අපිට සම්මාන සහතික හිමිවුණා. එම සංස්කෘතික ප්‍රසංගය පැවැත්වුණේ පට්යාලා විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ. ඉන්දියාවෙන්ම කණ්ඩායම් පැමිණියා.
ඔවුන්ගේ ඉල්ලීම පරිදි සූදානමක් නැතුවත් ගුරුවරුන්ට පුහණු කරපු හින්දි සින්දුවක් ඉදිරිපත් කරන්න කියා ඉල්ලීමක් ආවා. මම එය වේදිකාවේ වෙනසක් සහිතව ඉදිරිපත් කළා. එය අවසන් වන විට තව එකක් ඉල්ලුවා. බොහෝ පැතිවලින් ආපු ආබාධිත ළමයි මාව වට කරගෙන ඔවුන්ගෙ ගුරුවරුන්ට කියනවා එම ගීතවලින් කියූ දේ අපිට තේරෙනවා අපිට ඇවිත් වැඩමුළු පවත්වන්න කියා. එය මට ගොඩක් සතුටු හිතුණු අවස්ථාවක්. ලංකාව ඇතුළෙ බොහෝ ආයතනවලට මම ගිහින් මේ ගැන පැවසුවා. නමුත් කිසිදු ආයතනයක් ප්‍රතිචාර දැක්වුවෙ නෑ. සමහරු තැන් හතර පහකට දුරකථනය හුවමාරු කර කර හිටියා.විදෙස් රටකට ගිහින් ඔවුන්ගේ භාෂාවෙන් මං මේක ඉදිරිපත් කළාම අපිට මේක තේරුණා කියල ඔවුන් මාව වට කරගත්තම මට පුදුම සතුටක් දැනුනා. මං හිතන්නෙ මම වැඩිම වාර ගණනක් ඉන්දියාවේ විවිධ පැතිවලට ගිහින් තිබෙනවා. අලුත්ම අත්දැකීමක් ලැබුණා. ඒ දවස් ටිකේම ළමයි එක්කයි අපි හිටියේ. පට්යාලා විශ්වවිද්‍යාලයේ පනස් වැනි සංවත්සරය වෙනුවෙනුයි ආරාධනා කළේ.
ඔවුන් ඉතාම ඉහළින් පිළිගත්තා. දින පහක් පුරා ළමයි එක්ක ජීවත් වීමම ඇති ලොකු අත්දැකීමක් ගන්න. ඒ ළමයි දක්ෂයි. අපේ ආයතන කරන පිරිස් පුළුවන්නම් ගිහින් බලන්න කොයිතරම් පහසුකම් ඔවුන්ට දෙනවද කියා. පුදුම පහසුකම්. උදේ ඉස්කෝලෙ පටන් ගන්න විදිය සහ සියලු වැඩසටහන් යන විදිය සහ ළමයින්ගේ දිනපතා ක්‍රියාකාරකම්. ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ අය ඉන්නවා එම පාසලේ. ඔවුන් එක්ක ගෙවූ කාලය සහ ලැබුණු මනුස්සකම් අපමණයි. එච්චරටම සංවේදීයි. පිටරටකදී එවැනි ප්‍රතිචාර ලැබීම පුදුමාකාර භාග්‍යයක්. ඔවුන් ඉදිරියේදී යළිත් අප්‍රේල්වලදීත් අපේ කණ්ඩායමම ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් කැමතියි ඔවුන්ගේ සම්බන්ධකම් තිබෙන පාසල්වල ගුරුවරුන් ගෙනැවිත් දින තුන හතරක වැඩමුළුවක් කරන්න.
සටහන -ඉඳුනිල් සින්දු


























