ප්‍රවාහන බලපත් අහෝසි කළේ සංවර්ධන කටයුතුවලට යොදවන්නයි


(උපුල් තම්මිට)

වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට අවශ්‍ය බලපත් ලබාගැනීමේ ක්‍රියාවලිය අහෝසි කිරීමට රජය පියවර ගත්තේ සංවර්ධන කටයුතු සඳහා මෙම අමුද්‍රව්‍ය විශාල වශයෙන් ඉල්ලුමක් පවතින නිසා බව ඉඩම් සංවර්ධන වනජීවී හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (18) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ප්‍රවාහන බලපත් අහෝසි කිරීමෙන් රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි වූ බව පෙන්වාදුන් ඒ මහතා නව රජය බලයට පත්වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා බලපත්‍ර නීතීය අහෝසි කිරීමට කටයුතු කළ බව සඳහන් කර සිටියේය. ඉදිකිරීම් ක්ෂේත්‍රය තවදුරටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ වීම නිසා එම සහනය ලබාදුන් බවද පෙන්වාදුන් ඒ මහතා මේ අවස්ථාවේ පරිසරවේදීන් ගොනුකළ පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට ගෞරව පූර්වකව පිළිගන්නා බවත්, ඒ අනුව මින් ඉදිරියට කටයුතු කරන බවත් පැවසීය. ජනතාවට ලබාදුන් සහනය අහිමිවීම පිළිබදව කණගාටුවන බවද ඒ මහතා සදහන්කර සිටියේය.

2019 දෙසැම්බර් මස 4දා කැබිනට් මණ්ඩලය විසින් වැලි පස් හා බොරලු ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ලබාගැනීම අහෝසි කළ අතර භූවිද්‍යා හා පතල් කැණීම් පනතට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් පරිසර යුක්කි කේන්දුය විසින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.