(නිමල කොඩිතුවක්කු)
ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් දරුවන්, රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ මගී ජනතාව අද (06) දිනයේ දැඩි පීඩාවට පත්වූහ.
බස්රථ නොමැතිවීම හේතුවෙන් මගී ජනතාව පැය ගණන් බස් නැවතුම් වල රැඳී සිටි අතර පැමිණි බස් රථ තුලද ගමන් කිරීමට නොහැකි ලෙස විශාල මගී පිරිසක් දක්නට ලැබිණ.
මේ හේතුවෙන් ඇතැම් පිරිස් යළි නිවෙස් කරා ගිය අතර මාර්ගයේ ගමන් කළ පිරිස් පාසල් දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසනු දක්නට ලැබිණ.
ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ඊයේ දිනයේ සීමා වූ බව මේ පිළිබඳ සිදුකළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේය.
ඊයේ දිනය තුළ පෞද්ගලික බස් රථ ධාවනය වූයේ 5000 කට අඩු සංඛ්‍යාවක්බවත් ඔහු සඳහන් කළේය.
මගී ප්‍රවාහන කටයුතු සඳහා එම බස් රථ ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත්නොවූ බවත් ඔහු තවදුරටත් කීවේය.
ඩීසල් හිඟය උග්‍රවීම හේතුවෙන් හෙට දිනය තුළ බස් රථ ධාවනය තදුරටත් සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහිදීද අඩුපාඩු පවතින බවත් මේ සම්බන්ධයෙන් විශය බාර අමාත්‍යවරයා දැනුවත් කළ බවත් විජේරත්න මහතා තවදුරටත් කීවේය.