(විනීතා එම් ගමගේ)
පහන්තුඩාව දියඇල්ල අසල නිරුවත් ජවනිකා සහිත ආන්දෝලනාත්මක වීඩියෝවේ සිද්ධීයට සම්බන්ධ බව කියමින් සමාජ මාධ්‍ය තුළ මේ වන විට හුවමාරු වූ යුවළගේ ඡායාරූප ඊට කිසිසේත්ම සම්බන්ධ නැති යුවලක ගේ බව හෙළි වී තිබේ.
එම වීඩියෝවට සම්බන්ධ යුවල මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූප කිසිදු අවස්ථාවක මාධ්‍ය මගින් හෙළි වූයේ නැත.
එසේ ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් පසු මෙම යුවල ගේ ඡායාරූප අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති දෙදෙනාගේ බව පෙන්වමින් යම් පිරිසක් මුහුණු පොතේ ව්‍යාජ පෝස්ටුවක් සකසා මුදා හැර ඇතැයි පැවැසේ.
මේ සම්බන්ධව පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි කළ බව ඔවුන් දෙදෙනා ලංකාදීපයට පැවැසූහ.
තමන් දෙදෙනා විවාහ වී වසර එකහමාරක් පමණ වන බවත් රටේ නොයෙක් සුන්දර ස්ථාන නැරඹීමට යන අතර පහන්තුඩාව දිය ඇල්ලට ගිය අවස්ථාවක ගත් ඡායාරූප තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර තිබියදී එහි ඡායාරූප ලබාගෙන මෙසේ මුහුණු පොත ඔස්සේ යොදා ගෙන ඇතැයි පෙනී යන බවත් ඔවුහු කීහ.
තමන් දෙදෙනාත් මව්පියන් සහෝදර සහෝදරියන් හිතවතුන් මෙන්ම දන්නා කියන සියලු දෙනා අපහසුතාවට පත්ව ඇති බවත් තවමත් මුහුණු පොතේ සමහර ගිණුම් හරහා තමන් දෙදෙනා අපහසුතාවට පත් කරමින් සිටින බවත් මෙවැනි දේ සිදුනොකරන්නැයි තමන් සමාජයෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු තවදුරටත් පැවැසූහ.

