පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක්


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 10ක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමයින් බව ද eවෛද්‍යවරයා කීවේය.

එම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එයිනුත් සියයට 50ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද පැවසීය.

ශරීරයේ සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු සැක සහිත ලපයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ සමේ රෝග සායනයට ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු බව කී වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ වෙනම මධ්‍යම ලාදුරු සායනයක් තිබෙන බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.