පස්සර අනතුරේ රියදුරුට චෝදනා 52 කට නඩු ගොනු කරන්න යයි: පෙර වැරදිත් තිබිලා


( පාලිත ආරියවංශ )
පස්සර-මඩොල්සිම මාර්ගයේ මහදෝව 6 කණුව ප්‍රෙද්ශයේදී මගීන්  9 දෙනෙකුට මරු කැදවමින් තවත් මගීන් 40 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස්රථයේ රියදුරා විරුද්ධව  නඩු 52 ක් ගොනුකිරීමට  මඩොල්සිම පොලිසිය කටයුතු කරන බව  බදුල්ල පොලිස් අධිකාරි  වසන්ත කන්දෙවත්ත මහතා පැවසීය.
 
විජේසිංහ මුදියන්සේලාගේ ශාන්ත කුමාර නැමති මෙම රියදුරා මේවන විටත් පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන  බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතාගේ නියෝගය මත ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
 
අපරික්ෂාකාරි රිය පැදවීම ,අනතුරක් වළක්වා නොගැනීම, මාරක රියඅනතුරක් සිදුකිරීම  මූලික චෝදනා වන අතර ජීවිත්ෂයට පත්වු 9 දෙනා වෙනුවෙන් වෙන වෙනම නම නඩු 9 ක්ද තුවාල කරුවන් 40 දෙනා වෙනුවෙන් වෙන වෙනම නඩු 40 ක්ද ඇතුලුව නඩු 52 ක් එම රියදුරා විරුද්ධව  නියමිතය .

අධිකරණ වෛද්‍ය නිලධාරි වරයාගේ වාර්තාවන් ලැබීමෙන් පසු  බරපතල හා සුළු තුවාල  ලැබූ වන් වෙනුවෙන් එම නඩු පැවරීමට කටයුතු  කරන බව  පොලිසිය සදහන් කළේය .

මෙම රියදුරා විසින් මීට පෙර 2018 පෙබරවාරි මාසයේ කළ රිය අනතුරක් සම්බන්ධයෙන්  බීමත්ව රිය පැදවීම, නොසැලකිලිමත් රිය පැදවීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා යටතේ මඩොල්සිම පොලිසිය විසින් නඩුපවරා තිබූ බව පොලිසිය සදහන්කළේය .

එම නඩුවේ තීන්දුව 2019 දෙසැම්බර් 19 වැනි දින ලබා දි ඇති අතර රියදුරා එම චෝදනාවන්ට වැරැදි කරු බව තීරණයකළ මහේස්ත්‍රාත්වරයා  ඔහුට රුපියල් 13000 ක දඩ  නියම කර තිබූ බවද සදහන් කෙරිණ .

 මේ අතර  ඉකුත් 6 වැනිදා මහදෝව ප්‍ර දේශයේදී අනතුරට පත්වු  බස්රථය සදහා ආදායම් බලපත්‍රයක් නොතිබීම සම්බන්ධයෙන් බදුල්ල ලංගම ඩිපෝ අධිකාරි වරයාට එරෙහිවද  නඩු පවරන බව පොලිසිය සදහන් කළේය .