(අංජුල මහික වීරරත්න)
පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදලින් කිසිදු ප්‍රයෝජනයක් නො ගැනීම නිසා එම මුදල නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
අතුරු අයවැයෙන් වෙන්කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශ නිලධාරීන් ගෙන් කළ විමසීමක දී මෙම කරුණ හෙළිදරව් වී ඇත.
එහිදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ අදාල මුදල වියදම් කිරීම සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස පැවසුවත් කිසිදු පළාත් සභාවක් එවැනි ව්‍යාපෘති ඉදිරිපත් නොකළ බවයි. මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අඩුම තරමින් බිත්තර සහ කුකුළු කර්මාන්තය නැංවීම සඳහා වත් මෙම මුදල යොදා ගැනීමට තිබූ බවයි.
අමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් නිරුත්තර වී ඇති බවත් ආර්ථික අර්බුදයක් මැද වුවත් මෙලෙස පශු සම්පත් සංවර්ධනයට මුදල් වෙන් කරන්නේ වැටී ඇති ජන ජීවිතය යම් පමණකින් හෝ නැංවීමට වන නමුත් මෙලෙස මන්දගාමීව කටයුතු කිරීමෙන් රට නැවත ගොඩ නඟන්නේ කෙසේදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබේ.

