(ශිරාන් රණසිංහ)
වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
2008 වසරේ සිට “එතනල්” නමැති විස රසායනිකය යෙදූ කෙසෙල්, පැපොල් ඇතුළු පලතුරු ඉදවූ බවත් එම විස නිසා පිළිකා රෝගය ඇතුළු රෝගවලට ජනතාව ගොදුරුවන බවත් ඒ සම්න්ධව තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ අනුව කොළඹ පිටකොටුව මැනිං වෙළඳපොළෙන් වස විස සහිත පලතුරු ඉවත් කිරීමේ සටන ආරම්භ කළ බවත් එම වෙළඳ සමිතියේ ප්‍රධානීහු පැවසූහ.
“රෙඩ් ලේඩි” නමැති පැපොල් වර්ගය ඉදවීම සඳහා අනිවාර්යයෙන්ම මෙම විස යෙදීමට සිදුවී ඇති බව ද පිටරටින් ගෙන්වන යළි පැළ නොවන ඇට නැති දෙමුහුන් බීජ මෙරට ගොවීන්ට එය හඳුන්වා දීම නිසා මුළු රටම වදවීමක් වෙත යමින් සිටින බව ද ඔවුහු කියා සිටියහ.
කෙසෙල් ඉක්මණින් ම ඉදවීම සඳහා වෙළෙඳුන් මෙන් ම කෙසෙල් වගාකරුවන් ද මෙම වස විස යෙදීමට හුරුව සිටින නිසා ජාතියේ හා මනුෂ්‍යත්වයේ නාමෙන් මිනිසුන් මරා දමන මේ අපරාධය දැන්වත් නතර කිරීමට දායකවන ලෙස ද එම වෙළඳ ප්‍රජාව ඉල්ලා සිටියහ.
වස යෙදූ ඉදවන පලතුරුවලට කුහුඹුවෙක්වත් ළං නොවන බවත් එම පලතුරු සාමාන්‍ය පරිදි ඉදෙන පලතුරු වලට වඩා හොඳ පෙනුමකින් සමන්විත නිසා පාරිභෝගිකයන්ට පහසුවෙන් හඳුනාගත හැකි බවත් ඔවුහු කීහ.
මේ වන විට පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග තුන්සියයක් පමණ රට තුළ ඇතැයි ද එහිදී හෙළි විය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර