( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මඟින් තමන්ට පනවා ඇති ගනුදෙනු සීමා කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා සීමාසහිත පර්පචුවෙල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් 2 ක් අභියාචනාධිකරණයට ගොනු කර ඇති රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය අද (01) මෙම පෙත්සම් ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කරන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති රෝහිණි වල්ගම සහ සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ පෙත්සම් වල තාක්ෂණික දෝෂ පවතින බවට නීතිපති ඉදිරිපත් කළ මුලික විරෝධතාවය පිළිගනිමින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණි.
පර්පචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගම , පර්පචුවල් ඇසෙට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම, පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නීතිපති ඇතුළු 13 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

