(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ඇහැලේපොල පරනගම ප‍්‍රදේශයේ නිවාස 30ක පමණ බිත්ති හා ටයිල්වල පිපිරුම් ඇතිව තිබෙන බව ප‍්‍රදේශවාසිහු පවසති.
සිය ගම්මානයේ පවුල් 150ක් පමණ ජීවත් වන බවත් නිවාස 30 කට වැඩි ප‍්‍රමාණයක් අවදානම් තත්ත්වයේ පවතින බව ද ඔවුහු පවසති.
කොයි මොහොතක හෝ ගම්මානයම විනාශ වී යනු ඇතැයි බියක් පවතින බව ද ප‍්‍රදේශවාසිහු කියති.
වසර ගනනාවක් පුරා ඉතා සියුම් ලෙස පැවැති පැලූම් මේ වන විට විශාල වී ඇතැයි ඔවුහු කියති.
පල්ලේපොල ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ද පැලූම් දක්නට ලැබෙන බව විහාරාධිපති ඇහැලේපොල සාරද හිමියෝ පවසති.
අවස්ථා ගණනාවක දී සිමෙන්ති යොදා පැලූම් වසා දැමුවද වෙනත් ස්ථාන වලින් පෙර පැවැති තත්ත්වයටත් වඩා විශාල ලෙස පැලීම් සිදුවන බවත් නිවෙස් වල සිටීමට පවා බියක් දැනෙන බව ප්‍රදේශවාසියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිවයුතු ආයතනයකට පැමිණිලි කර නොමැති බවත් පිපිරුම් විවිධ ක‍්‍රම ඔස්සේ වසා දමමින් සිටි බවත් වැසියෝ කියති.
එම ප්‍රදේශයේ අප සංචාරය කරන අවස්ථාවේ ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානය ආසන්නයේ කාන්තාවක කියා සිටියේ නිවසේ මිදුලේ හිටිහැටියේ ඇතිවු කුහරයකට තමා වැටුණු බවයි.
මෙම අවදානම් තත්ත්වය පිළිබඳව මාතලේ දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා දැනුවත් කළ අතර එහි දි ඔහු කියා සිටියේ සිය පෞද්ගලික අවධානය මේ සම්බන්ධයෙන් යොදවන බවත් මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවත් ය.






