නුවරඑළියේ ගව ඝාතකාගාර තාවකාලිකව වහයි


(රංජිත් රාජපක්ෂ)                       

වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගව ඝාතකාගාර අද(27) තාවකාලිකව වසාදැමීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ගාමිණි පෙරේරා මහතා පවසයි.
 
ගවයන් වැළඳෙන මුඛ සහ කුර රෝග පැතිරයාමේ අවදානමක් ඇති බැවින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ලිඛිත දැනුම්දීමක් මත මෙම පියවර ගත් බව පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ අනුව, දිස්ත්‍රික්කය තුළ සහ දිස්ත්‍රික්කයෙන් පිට සත්ව ප්‍රවාහනය සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.

ගවයන්ට මුඛ සහ කුරු රෝග පැතිරයන බවට කරුණු අනාවරණය වී ඇති බවට දැනුම්දෙමින් නුවරඑළිය දිස්ත්‍රික්ක ලේකම්වරයා විසින් නුවරඑළිය, කොත්මලේ, අඹගමුව, වලපනේ, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම්වරුන්ටද ලිඛිතව මේ පිළිබඳව දැනුම් දී ඇත.

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි ගත් තීරණයක් මත, දිස්ත්‍රික් පශු වෛද්‍ය නිලධාරීන්ගේ ද නිර්දේශය අනුව මෙම පියවර ගෙන තිබේ.

මස් පිණිස සතුන් ඝාතනය කිරීමේදි පශු වෛද්‍යවරයාගේ නිර්දේශයක් අනිවාර්යෙන් තිබිය යුතු අතර, දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඉල්ලීම මත එම බලපත්‍රය නිකුත් කිරීම තාවකාලිව අත්හිට වු බවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පශු වෛද්‍යවරු කියාසිටිති.
 
මෙම නියෝගය මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ගව මස් අලෙවිසැල් තාවකාලිකව වසාදැමීමට නියමිතය.