‘මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද‘ මැයෙන් බදාදා (18) සවස නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට යෑමට තමාද තීරණය කළ බව බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
හෘද සාක්කියට එකඟව වැඩ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා ඇති නිසාත්, මහින්දට ඡන්දය දුන් පනස් හත් ලක්ෂයෙන් තමා ද කෙනකු නිසාත් එම රැලියට යෑමට තීරණය කළ බව ඔහු පවසයි.
නුගේගොඩ පැවැත්වෙන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නැතැයි මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා කියයි. ඒ බව පක්ෂයෙන් පළාත් සභාවට ද දැනුම් දී ඇත.
සඳුදා සවස ශ්‍රාවස්තියේ දී පැවැති බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ දී මන්ත්‍රීවරු වැඩි පිරිසක් එම රැලියට යා යුතු බව පැවසූහ.
උදය ගම්මන්පිල මහතාගේ ඇමැති ධුරයේ දිවුරුම් දුන් ගාමිණී තිලකසිරි, සෙනල් වෙල්ගම සහ මල්ෂා කුමාරතුංගගේ මතය වූයේ එම රැලියට නොයා යුතු බවයි.
මෙම රැලිය ගැන නොදන්නේයැයි ද, එවැනි රැලියකට තමාට ආරාධනා කර නැතැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මීට පෙර කියා තිබිණි.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහත්වරු මේ රැලිය සංවිධානය කරති.

