නිලූකට පෝලන්ත පුහුණුකරුගේ සහය ලැබුණා


ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී නිලූක කරුණාරත්නගේ ඉල්ලීමට අනුව පෝලන්තයේ ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ සේවය ලබා දුන් බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. පෝලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කොරියානු ජාතික කිම් යන්ග් මැන් මහතාය. මාධ්‍ය මෙන්ම ක‍්‍රීඩා ලෝලීන් ද නිලූකගේ පුහුණුකරුධුරය පිළිබඳව විවිධ මත පල කර ඇති බවත්, නිලූක සහභාගිවු තරග දෙකේදීම පෝලන්ත පුහුණුකරු නිලූකට උපදෙස් ලබාදුන් බවත් බස්නායක මහතා පවසයි. කිම් යන්ග් මහතා පෝලන්ත බැඞ්මින්ටන් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම නිසා නිලූක සහභාගි වු තරගවලදී පුහුණුකරු ලෙස ළඟ සිට උපදෙස් ලබාදීමේ හැකියාවක් ඔහුට නොමැති වු බවද බස්නායක මහතා කීය. ලූවී කරුණාරත්න මහතා නිලූකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම ජාතික ඔලිම්පික් කමිටුවට බැඞ්මින්ටන් සංගමය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වු කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අනුගමනය කළ ප‍්‍රතිපත්ති අනුව එය ක‍්‍රියාත්මක නොවු බවද ඔහු පැවසීය. මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනා සඳහා කළමනාකරුවන් පත්කර තිබුණ ද ඔවුන් සඳහා පුහුණුකරුවන් පත්කර නොතිබුණි. කිම් යන්ග් මහතාගේ සේවය ඉදිරියේදී යළිත් නිලූකට ලබාදීම පිළිබඳව සාකච්ඡා පැවැත් වු බවද බස්නායක මහතා පවසයි.