නිලූක ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ඉතිහාසය අලූත් කරයි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර්ධ අවසන් පුර්ව තරගයට (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) අනිද්දා (01) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මුලික වටයේ ‘සී’ කාණ්ඩයේ තරගයේදී ජපානයේ කිනිචි ටගෝ පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට අද (30) සුදුසුකම් ලැබීය.
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ ක‍්‍රීඩක ටගෝ පරදවා නිලූක ලබාගත් මෙම ජයග‍්‍රහණය මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග‍්‍රහණය ලෙසද වාර්තාගත වෙයි.
‘‘ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භවීමට දින කිහිපයකට පෙර විවේකයක් ලබා ශාරීරිකව හා මානසිකව හොඳ ශරීර සුවතාවයකින් මම පසු වුණා. ඒ වගේම ජපන් ක‍්‍රීඩකයා පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මම තරගයේ ආරම්භයේ සිට ඔහු සමග කරට කර ක‍්‍රීඩා කර තරගයේ වාසිය ලබා ගන්න මට හැකි වුණා යැයි’’ තරගය අවසානයේ නිලූක පැවසීය.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොයිතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව තිබෙන ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක වැඩි දුරටත් පැවසීය.
ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්හ් නගුයෙන් අතර හෙට (31) පැවැත්වෙන ‘ඞී’ කොටසේ තරගයෙන් ජය ගන්නා ක‍්‍රීඩකයා සමග නිලූක තරග කිරීමට නියමිතව ඇතැයි ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවසීය.
නිලූක මෙම ඉන්දීය සහ වියට්නාමයේ ක‍්‍රීඩකයන් දෙදෙනා සමග වසර කිහිපයකට ඉහතදී තරග කර ඇතැයි බස්නායක මහතා පැවසීය.
එහිදී නිලූක, ඉන්දිය ක‍්‍රීඩකයා සමග තරග වට තුනක තියුණු තරගයකින් පසුව පරාජය ලබා ඇති අතර වියට්නාමයේ ක‍්‍රීඩකයාව පරාජය කිරීමට නිලූක සමත්ව තිබේ. ලෝකයේ ඉදිරියෙන් සිටි ජපන් ක‍්‍රීඩකයාව පරාජය කිරීමත් සමග නිලූක ජයග‍්‍රාහී මානසික මට්ටමක පසුවන බව ද බස්නායක මහතා පවසයි.
ඉන්දිය ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේද, වියට්නාම ක‍්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේද පසුවෙයි.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානය ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා වෙමිනි.
පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ලන්ඩන් නුවර පැමිණියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වේ.
2010 වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක, 2011 වසරේ යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි.

