නිරෝධායන නීති කඩ කරමින් සාද පැවැත්වූ කාන්තාවන් 5ක් ඇතුළු හයක් අත් අඩංගුවට


(නවරත්න සමරතුංග)

විනෝද චාරිකාවක පැමිණ උහන බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරපුරදී සාදයක් පැවැත්වූ කාන්තාවන් පස්දෙනෙකු සහ  පිරිමි පුද්ගලයෙකු  නිරෝධායන නීති රෙගුලාසි කඩකිරීම යටතේ අත් අඩංගුවට ගත් බව උහන පොලීසිය පැවසීය.

කිසියම් පිරිසක් බණ්ඩාරදූව නවගිරියාව වැව ඉස්මත්තේ වැව්සිරිපුරට පැමිණ විනෝද වීම සඳහා සාදයක් පවත්වන බවට උහන පොලීසියේ ස්ථානාධිපති වරයාට ලැබුණ තොරතුරක් මත වැටලීම සිදු කර ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.

ත්‍රි රෝද රථ දෙකකින් සහ යතුරුපැදි කීපයකින් පැමිණ සිටි ඔවුන් ඒ වන විට දිවා ආහාරය පිසීමට සූදානම් වෙමින් සිටි බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම හය දෙනාට අමතරව වයස අවුරුදු 08-10-සහ 12 වයස්වල ළමයින් දස දෙනෙකු ද එහි සිටින බවද පොලීසිය ද කීවේය.

අත් අඩංගුවට ගත් වැඩිහිටියන් ගෙන් ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත ඔවුන් මුදා හල බවත් නිරෝධායන හා සංචරණ නීති උල්ලංඝනය කිරීමේ වරද යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට පියවර ගන්නා බවත් පොලීසිය කියයි.