( ඩයනා උදයංගනී )
නිදහසේ පියා වන ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව සෙවණේ, කොළඹ 07,නිදහස් චතුරස්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණු 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු අද පෙරවරු 11.00ට ජාතික ගීය වාදනය කිරීමෙන් අනතුරුව නිමාවිය.
සුරක්ෂිත දේශීයක් සෞභාග්‍යමත් රටක් යන්න නිදහස් දින සැමරුම් තේමාව විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන් එය පැවැත්විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ පෙරවරු 8.15ට වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරවරු 8.17ට උත්සව භූමියට සම්ප්‍රාප්ත විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය සිදුකිරීමෙන් පසු මගුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය නැංවීම සිදුකෙරිණි.
අනතුරුව පාසල් සිසු සිසුවියන් සියයක් විසින් ජාතික ගීයත් පාසල් ශිෂ්‍යාවන් 25 දෙනෙකු විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කරනු ලැබිණි.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරිණි.
අනතුරුව ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා අදහස් දැක්වීය.
ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ආරම්භ වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය හා සංස්කෘතික සංදර්ශනයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 4,325ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 868ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 815ක්, ශ්‍රී ලංකා පොලීසියේ 1,382ක්, සිවිල් ආරක්‍ෂක බලකායේ 515ක් සහ ජාතික ශිෂ්‍ය භට බලකායේ 355ක් මෙවර ආචාර පෙළපාලිය සඳහා එක්ව සිටියහ.
ගුවන් හමුදා ප්‍රහාරක යානා ද උත්සව භූමියට ඉහළ අහසේ සිට මෙම අවස්ථාවට එක්වූ අතර එම අවස්ථාවේදීම ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද ජාතියට ගෞරවය පුද කළේය.

